Wednesday, October 30, 2013

ස්පෙෂල් කරන එක ගැන මොකද හිතන්නේ...?

"ස්පෙෂල් කරන එක ගැන සර් මොකද හිතන්නේ...?" මේ දවස්වල මට නිතරම අහන්නට ලැබෙන ප්‍රශ්නයක්.

හැම විශ්වවිද්‍යාලයකම වගේ දෙවන (අවසන්) සෙමෙස්තරය අවසන් වේගෙන යන මේ කාලේ ඔය ප්‍රශ්නය ඇතිවෙන්නෙ දැනට 3 වෙනි වසරෙ ඉගෙනුම ලබන අයට.

ස්පෙෂල් (Special) කියන්නේ සිවු අවුරුදු විශේෂ උපාධිය නේ. අවුරුදු 3න් උපාධිය සම්පූර්ණ කරලා රස්සාවක් හොයාගෙන ඉක්මනට පරස්තාවකුත් කරගන්න එක හොඳයි කියලා තමයි මේ ගැන බහුතර මතය.

මේ අදහස කොච්චර අපේ සමාජයේ මුල් බැහැලා තියෙනවද කියන එකට හොඳ උදාහරණයක් මම සේවය කරන සරසවියේ මගේ සහය ආචාර්යවරයෙක්ගෙන්ම ලැබුණා.

දෙවන පෙළ ඉහළ (2nd Upper Honours) ගෞරව උපාධියක් හිමි (උපාධිය ගෞරව (Hons.) උපාධියක් වෙන්න හදාරන කාලය අදාල වෙන්නෙ නෑ. අවම වශයෙන් දෙවන පෙළ පහළ (2nd Lower)පන්ති සාමාර්ථයක් සහිතව සමත් වීම, ඒ කියන්නෙ GPA අගය 3.0 ඉක්මවීම ප්‍රමාණවත්.) 

මෙයා පශ්චාත් උපාධියකට ඉල්ලුම් කරන්න මගෙන් උපදෙස් ගන්න ආවම තමයි මම දැනගත්තෙ එයා අවුරුදු 3න් උපාධිය හැදෑරීම නවත්වලා කියා.

මම "ඇයි එහෙම කළේ..?" ඇහුවම කියපු කතාව තමයි මේ.

"ඉතින් සර් ෆෝ(ර්) ඉයර් ස්පෙෂල් කළා කියල මහලොකු වෙනසක් නෑනේ...? මම අහපු හැමෝම කිවුවේ නිකං අපරාදේ අවුරුද්දක් වැඩිපුර කරන එක අපරාදේ කියල."

"අපරාදෙ තමයි ඔයා වගෙ දක්ෂ කෙනෙක් ස්පෙෂල් නොකළ එක. දන්නවද ස්පෙෂල් කළාම තියෙන ස්පෙෂල් වාසි..?"

"නෑ සර්....!"

මෙන්න ඒවා:

1. කවදහරි ආචාර්ය මණ්ඩලයට බැඳිලා කථිකාචාර්යවරයෙක් (Lecturer) විදියට සේවය කරන්න අදහසක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම විශේෂ උපාධිය (Special Degree) සම්පූර්ණ කළ යුතුයි. 

රජයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක් වීමට අවම සුදුසුකම තමයි එක් අවුරුදු ශාස්ත්‍රීය පර්යේෂණයක් (Research) සමඟ සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක් හදාරා තිබීම. මෙහිදී ප්‍රථම පන්ති (1st Class Honours) හා දෙවන පෙළ ඉහළ (2nd Upper Honours) පන්ති සාමාර්ථයක්ද බොහෝ විට අවශ්‍ය වනවා.

නැතිනම් ඔබට සිදුවන්නේ උපදේශක (Instructor) විදියට සේවයට එක්වීමට. නමුත් මෙහි තිබෙන අවාසිය තමයි සාපෙක්ෂව වැටුප අඩු වීම (ආරම්භක වැටුප ආධුනික කථිකාචාර්යවරයකුගේ වැටුපෙන් අඩක් පමණ.) සහ උසස්වීම් ලැබීමට අපහසු වීම. 

ආධුනික (පරිවාස-Probation) කථිකාචාර්යවරයෙක් වසර 8ක් තුළ ඔහුගේ හෝ ඇයගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ විට ජෙය්‍ය්ෂ්ඨ කථිකාචාර්ය (Senior Lecturer) ධූරයට උසස්වීමක් ලබනවා. ඒ පශ්චාත් උපාධිය Ph.D.(Doctor of Philosophy /D.Litt.(Doctor of Literature) /D.Phill. (Doctor of Philosophy) එකක්නම් ඔහු හෝ ඇයගේ නමට ඉදිරියෙන් ආචාර්ය (Dr.) පට්ට්මක්ද වදින බව දන්නවා ඇතිනේ. අධ්‍යයන අංශ ප්‍රධානී (Department Head), පීඨාධිපති (Dean) හා උපකුලපති (Vice-Chancellor) තනතුරු සඳහා සලකා බැලීමට අවම සුදුසුකම වන්නේ ඔහු හෝ ඇය ජෙය්‍ය්ෂ්ඨ කථිකාචාර්යවරයෙක් වීම. මේ සඳහා ඔහු හෝ ඇය අධ්‍යයන අංශයේ සාමාජිකයෙක් (Academic) වීම අත්‍යවශ්‍යයි. උපදේශක (Instructor) සහ ජෙය්‍ය්ෂ්ඨ උපදේශක (Senior Instructor) අයත් වන්නේ අධ්‍යයන සහ අනධ්‍යයන අතරමැදි (Intermediate) තනතුරක් වන අධ්‍යයන සහයක (Teaching Assistant) වර්ගීකරණයටයි.

පශ්චාත්-ආචාර්ය (Post-Doctoral) පර්යේෂණයක් සමඟ වසර 12 සේවා කාලයක් සම්පූර්ණ කළවිට ඔහු හෝ ඇය මහාචාර්ය (Professor) පදවිය සඳහා අවම සුදුසුකම් සපුරාලනවා. අධ්‍යයන අංශයේ (academia) උපරිමය ජෙය්‍ය්ෂ්ඨ මහාචාර්ය (Senior Professor).

නමුත් ගොඩක් දෙනෙකුට ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න වෙන්නෙ නැති නිසා විශේෂ උපාධියක වෙනත් වාසි අපි මීළඟට සලකා බලමු.

2. පශ්චාත් උපාධියක් (Post Graduate Degree) හැදෑරීමට ඉල්ලුම් කිරීමේදී ප්‍රමුඛතාවය (Priority) ලැබීම.

ඔබට සිවු අවුරුදු විශේෂ උපාධියක් (පන්ති සමාර්ථයක්ද හිමිනම් වඩාත් අගෙයි.) හිමිනම් ප්‍රථම උපාධියෙන් පසුව සෘජුවම පශ්චාත් උපාධිය ඒ සඳහා පහසුකම් සපයන විශ්වවිද්‍යාලයක ලියාපදිංචි විය හැකියි. උසස් තත්ත්වයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් (විශේෂයෙන්ම දැඩි ඉල්ලුමක් ඇති තරඟකාරී පාඨමාලාවක් නම්) හැදරීම සඳහා ඉල්ලුම්කරුවන් සලකා බැලීමේදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ සිවු අවුරුදු උපාධිධාරීන්ට. 

නැතිනම් අවම වශයෙන් උපාධියෙන් පසු වසරක (බොහෝ විට වසර දෙකක.) පූර්ණ කාලීන රැකියා පළපුරුද්ද (Professional Experience) අවශ්‍යයි. නමුත් මේ සඳහා ඔහු හෝ ඇය නිරත වූ රැකියාවේ ස්වභාවය හා සේවා යෝජකයා (රැකියාව සපයන ආයතනය) ද පිළිගත හැකි එකක් (Recognized) විය යුතු වනවා.

ඔබට සිවු අවුරුදු උපාධියේ ප්‍රථම පන්ති (අවම වශයෙන් දෙවන පෙළ ඉහළ) ගෞරව සාමාර්ථයක් හිමි නම් ශාස්ත්‍රපති(Master of Arts - M.A.)/විද්‍යාපති(Master of Science M.Sc.) හෝ දර්ශනපති(Master of Philosophy - M.Phill.) උපාධිය මගහැර සෘජුවම ආචාර්ය උපාධිය හැදෑරිය හැකියි. නමුත් ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සනාථන මණ්ඩලයේ (Senate) අනුමැතියද හිමිවිය යුතුයි.

3. ඔබ බුද්ධිමය වෘත්තිකයෙක් (Intellectual) ලෙස විදේශ රැකියාවකට ඉල්ලුම් කරනවිටත් (ඒ ඒ රටවල විදේශ ප්‍රතිපත්තියට අනුකූලව) ප්‍රමුඛතාවය හිමිවන්නේ සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධිධාරී වෘත්තිකයින්ටයි.

මේ ප්‍රමුඛතාවය හිමිවන අවස්ථා කිහිපයක් පමණයි.
මේ කතා ටික කියල ඉවරවුණාම මගේ සහය ආචාර්යතුමාගේ ඇස් උඩ ඉන්දුනා.

"අපරාදේ. මට සර් හම්බෙන්න තිබුණේ මීට කළින්...!"

ඉතින් තවදුරටත්, තුන් අවුරුදු හා සිවු අවුරුදු උපාධිය එකම වටිනාකමෙන් යුක්තයි කියා ඔබ සිතනවනම්, එය ඔබේ කැමත්තක්.
නමුත් පෞද්ගලිකව මට දෙන්න පුළුවන් අවවාදය තමයි අවස්ථාවක් ලැබෙනවනම් අනිවාර්යයෙන් සිවු අවුරුදු උපාධිය හදාරන්න. විශේෂයෙන් ඔබේ GPA අගය 3.00 ට වඩා වැඩිනම්.