Monday, October 20, 2014

කාරුණික නිවේදනයයි...!

කාරුණික නිවේදනයයි...!
විශ්වවිද්‍යාලයේ සේවයෙන් ඉවත් වූ නිසා
මගේ විද්‍යුත් ලිපිනය වූ
suneth@dcs.ruh.ac.lk තවදුරටත් භාවිතයේ නැත.
කරුණාකර ඔබේ පණිවුඩ
sanwedi@gmail.com වෙත යොමුකරන්න.
සිදුවූ අපහසුතාවය ගැන මගේ බලවත් කණගාටුව......!

suneth@dcs.ruh.ac.lk ✗  sanwedi@gmail.com 

Wednesday, October 30, 2013

ස්පෙෂල් කරන එක ගැන මොකද හිතන්නේ...?

"ස්පෙෂල් කරන එක ගැන සර් මොකද හිතන්නේ...?" මේ දවස්වල මට නිතරම අහන්නට ලැබෙන ප්‍රශ්නයක්.

හැම විශ්වවිද්‍යාලයකම වගේ දෙවන (අවසන්) සෙමෙස්තරය අවසන් වේගෙන යන මේ කාලේ ඔය ප්‍රශ්නය ඇතිවෙන්නෙ දැනට 3 වෙනි වසරෙ ඉගෙනුම ලබන අයට.

ස්පෙෂල් (Special) කියන්නේ සිවු අවුරුදු විශේෂ උපාධිය නේ. අවුරුදු 3න් උපාධිය සම්පූර්ණ කරලා රස්සාවක් හොයාගෙන ඉක්මනට පරස්තාවකුත් කරගන්න එක හොඳයි කියලා තමයි මේ ගැන බහුතර මතය.

මේ අදහස කොච්චර අපේ සමාජයේ මුල් බැහැලා තියෙනවද කියන එකට හොඳ උදාහරණයක් මම සේවය කරන සරසවියේ මගේ සහය ආචාර්යවරයෙක්ගෙන්ම ලැබුණා.

දෙවන පෙළ ඉහළ (2nd Upper Honours) ගෞරව උපාධියක් හිමි (උපාධිය ගෞරව (Hons.) උපාධියක් වෙන්න හදාරන කාලය අදාල වෙන්නෙ නෑ. අවම වශයෙන් දෙවන පෙළ පහළ (2nd Lower)පන්ති සාමාර්ථයක් සහිතව සමත් වීම, ඒ කියන්නෙ GPA අගය 3.0 ඉක්මවීම ප්‍රමාණවත්.) 

මෙයා පශ්චාත් උපාධියකට ඉල්ලුම් කරන්න මගෙන් උපදෙස් ගන්න ආවම තමයි මම දැනගත්තෙ එයා අවුරුදු 3න් උපාධිය හැදෑරීම නවත්වලා කියා.

මම "ඇයි එහෙම කළේ..?" ඇහුවම කියපු කතාව තමයි මේ.

"ඉතින් සර් ෆෝ(ර්) ඉයර් ස්පෙෂල් කළා කියල මහලොකු වෙනසක් නෑනේ...? මම අහපු හැමෝම කිවුවේ නිකං අපරාදේ අවුරුද්දක් වැඩිපුර කරන එක අපරාදේ කියල."

"අපරාදෙ තමයි ඔයා වගෙ දක්ෂ කෙනෙක් ස්පෙෂල් නොකළ එක. දන්නවද ස්පෙෂල් කළාම තියෙන ස්පෙෂල් වාසි..?"

"නෑ සර්....!"

මෙන්න ඒවා:

1. කවදහරි ආචාර්ය මණ්ඩලයට බැඳිලා කථිකාචාර්යවරයෙක් (Lecturer) විදියට සේවය කරන්න අදහසක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම විශේෂ උපාධිය (Special Degree) සම්පූර්ණ කළ යුතුයි. 

රජයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක් වීමට අවම සුදුසුකම තමයි එක් අවුරුදු ශාස්ත්‍රීය පර්යේෂණයක් (Research) සමඟ සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධියක් හදාරා තිබීම. මෙහිදී ප්‍රථම පන්ති (1st Class Honours) හා දෙවන පෙළ ඉහළ (2nd Upper Honours) පන්ති සාමාර්ථයක්ද බොහෝ විට අවශ්‍ය වනවා.

නැතිනම් ඔබට සිදුවන්නේ උපදේශක (Instructor) විදියට සේවයට එක්වීමට. නමුත් මෙහි තිබෙන අවාසිය තමයි සාපෙක්ෂව වැටුප අඩු වීම (ආරම්භක වැටුප ආධුනික කථිකාචාර්යවරයකුගේ වැටුපෙන් අඩක් පමණ.) සහ උසස්වීම් ලැබීමට අපහසු වීම. 

ආධුනික (පරිවාස-Probation) කථිකාචාර්යවරයෙක් වසර 8ක් තුළ ඔහුගේ හෝ ඇයගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කළ විට ජෙය්‍ය්ෂ්ඨ කථිකාචාර්ය (Senior Lecturer) ධූරයට උසස්වීමක් ලබනවා. ඒ පශ්චාත් උපාධිය Ph.D.(Doctor of Philosophy /D.Litt.(Doctor of Literature) /D.Phill. (Doctor of Philosophy) එකක්නම් ඔහු හෝ ඇයගේ නමට ඉදිරියෙන් ආචාර්ය (Dr.) පට්ට්මක්ද වදින බව දන්නවා ඇතිනේ. අධ්‍යයන අංශ ප්‍රධානී (Department Head), පීඨාධිපති (Dean) හා උපකුලපති (Vice-Chancellor) තනතුරු සඳහා සලකා බැලීමට අවම සුදුසුකම වන්නේ ඔහු හෝ ඇය ජෙය්‍ය්ෂ්ඨ කථිකාචාර්යවරයෙක් වීම. මේ සඳහා ඔහු හෝ ඇය අධ්‍යයන අංශයේ සාමාජිකයෙක් (Academic) වීම අත්‍යවශ්‍යයි. උපදේශක (Instructor) සහ ජෙය්‍ය්ෂ්ඨ උපදේශක (Senior Instructor) අයත් වන්නේ අධ්‍යයන සහ අනධ්‍යයන අතරමැදි (Intermediate) තනතුරක් වන අධ්‍යයන සහයක (Teaching Assistant) වර්ගීකරණයටයි.

පශ්චාත්-ආචාර්ය (Post-Doctoral) පර්යේෂණයක් සමඟ වසර 12 සේවා කාලයක් සම්පූර්ණ කළවිට ඔහු හෝ ඇය මහාචාර්ය (Professor) පදවිය සඳහා අවම සුදුසුකම් සපුරාලනවා. අධ්‍යයන අංශයේ (academia) උපරිමය ජෙය්‍ය්ෂ්ඨ මහාචාර්ය (Senior Professor).

නමුත් ගොඩක් දෙනෙකුට ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න වෙන්නෙ නැති නිසා විශේෂ උපාධියක වෙනත් වාසි අපි මීළඟට සලකා බලමු.

2. පශ්චාත් උපාධියක් (Post Graduate Degree) හැදෑරීමට ඉල්ලුම් කිරීමේදී ප්‍රමුඛතාවය (Priority) ලැබීම.

ඔබට සිවු අවුරුදු විශේෂ උපාධියක් (පන්ති සමාර්ථයක්ද හිමිනම් වඩාත් අගෙයි.) හිමිනම් ප්‍රථම උපාධියෙන් පසුව සෘජුවම පශ්චාත් උපාධිය ඒ සඳහා පහසුකම් සපයන විශ්වවිද්‍යාලයක ලියාපදිංචි විය හැකියි. උසස් තත්ත්වයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් (විශේෂයෙන්ම දැඩි ඉල්ලුමක් ඇති තරඟකාරී පාඨමාලාවක් නම්) හැදරීම සඳහා ඉල්ලුම්කරුවන් සලකා බැලීමේදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ සිවු අවුරුදු උපාධිධාරීන්ට. 

නැතිනම් අවම වශයෙන් උපාධියෙන් පසු වසරක (බොහෝ විට වසර දෙකක.) පූර්ණ කාලීන රැකියා පළපුරුද්ද (Professional Experience) අවශ්‍යයි. නමුත් මේ සඳහා ඔහු හෝ ඇය නිරත වූ රැකියාවේ ස්වභාවය හා සේවා යෝජකයා (රැකියාව සපයන ආයතනය) ද පිළිගත හැකි එකක් (Recognized) විය යුතු වනවා.

ඔබට සිවු අවුරුදු උපාධියේ ප්‍රථම පන්ති (අවම වශයෙන් දෙවන පෙළ ඉහළ) ගෞරව සාමාර්ථයක් හිමි නම් ශාස්ත්‍රපති(Master of Arts - M.A.)/විද්‍යාපති(Master of Science M.Sc.) හෝ දර්ශනපති(Master of Philosophy - M.Phill.) උපාධිය මගහැර සෘජුවම ආචාර්ය උපාධිය හැදෑරිය හැකියි. නමුත් ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සනාථන මණ්ඩලයේ (Senate) අනුමැතියද හිමිවිය යුතුයි.

3. ඔබ බුද්ධිමය වෘත්තිකයෙක් (Intellectual) ලෙස විදේශ රැකියාවකට ඉල්ලුම් කරනවිටත් (ඒ ඒ රටවල විදේශ ප්‍රතිපත්තියට අනුකූලව) ප්‍රමුඛතාවය හිමිවන්නේ සිවු අවුරුදු විශේෂ ගෞරව උපාධිධාරී වෘත්තිකයින්ටයි.

මේ ප්‍රමුඛතාවය හිමිවන අවස්ථා කිහිපයක් පමණයි.
මේ කතා ටික කියල ඉවරවුණාම මගේ සහය ආචාර්යතුමාගේ ඇස් උඩ ඉන්දුනා.

"අපරාදේ. මට සර් හම්බෙන්න තිබුණේ මීට කළින්...!"

ඉතින් තවදුරටත්, තුන් අවුරුදු හා සිවු අවුරුදු උපාධිය එකම වටිනාකමෙන් යුක්තයි කියා ඔබ සිතනවනම්, එය ඔබේ කැමත්තක්.
නමුත් පෞද්ගලිකව මට දෙන්න පුළුවන් අවවාදය තමයි අවස්ථාවක් ලැබෙනවනම් අනිවාර්යයෙන් සිවු අවුරුදු උපාධිය හදාරන්න. විශේෂයෙන් ඔබේ GPA අගය 3.00 ට වඩා වැඩිනම්.

Sunday, July 28, 2013

කාරුණික ඉල්ලීමයි.

කාරුණික ඉල්ලීමයි.

මේ දවස්වල මම ගොඩක් කාර්ය බහුල නිසා prof.edu.lk@gmail විද්‍යුත් ලිපිනයට අදාල inbox එක වැඩිය බලන්න වෙන්නෙ නෑ.

ඒක නිසා කරුණාකරලා ඔබේ ගැටළු suneth@dcs.ruh.ac.lk මගේ සෘජු විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.

ස්තුතියි.

Monday, May 13, 2013

අපේ අල්ලපු ගෙදර මලයගෙ වැඩ හෙවත් ලංකාවේ පළමු සබ්මැරීනය

අපේ අල්ලපු ගෙදර ඉන්නවා සාගර විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න හාදයෙක්.

දවසක් මම ගෙදර ආව විතරයි, මිනිහ කඩාගෙන බිඳගෙන ආව අපේ ගෙදර.

"අයියෙ, සොලිඩ්-වර්ක්ස් තියෙනවද..?" 

සොලිඩ්-වර්ක්ස් (SolidWorks) කියන්නෙ ඔය ඉංජිනේරු ඇඳීම් කරන සොෆ්ට්වෙයා එකක්නෙ. ඔටෝකැඩ් (AutoCAD-Computer Aided Design) වගෙ තමයි. හැබැයි මේකෙන් Stress Analysis (බල එහෙම දාල විශ්ලේශනය) කරන්න පුළුවන්.  කොටින්ම ආකෘතිය ඇත්තටම implement කළාම (හැදුවම) මොන වගේද කියල Simulate (සමාවෙන්න. ගැලපෙන සිංහල වචනෙ දන්නෙ නෑ. Virtual Reality - අතත්‍ය යථාර්තයද මොකද්ද කියල කියනව) කරල බලන්න පුළුවන්.

"අයියෝ මල්ලි මගේ ගාව තියෙන්නෙ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ පාවිච්චි කරපු රජ කාලෙ වර්ෂන් එකක්නෙ. දැන් අවුරුදු 7ක් විතර පරණයිනෙ. ඒ මදිවට වෛරස් ගාර්ඩ් කාරය ඒකෙ ක්‍රැක් එකත් කාලා. මොන වගේ වැඩකටද...?"

"කමක් නෑ එහෙනම්. මේ පොඩි වැඩකට. කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට."

ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සම්බන්ධ ප්‍රශ්න කීපයකට විසඳුම් අහගත්ත මිනිහ යන්න ගියා.

*    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    * 

මම විශ්වවිද්‍යාලයෙ උගන්වන්නෙ විද්‍යා පීඨයෙ වුනත් ඉංජිනේරු පීඨයෙ සෑහෙන ළමයි පිරිසක් මම අඳුනනවා. 
එහෙම කෙනෙක් ළඟදි ආව මාව මුණ ගැහෙන්න. ඔය ආගිය කතා අතරෙ මෙහෙම කතාවකුත් ඇදුනා.

"සර් මේ ළඟද ඉන්නෙ...?"

"ඔව්නෙ. කැකණදුර. ඇයි දන්නවද ඒ හරිය..?"

"නෑ. සර් උදිත අතුකෝරල දන්නවද...?"

"ඔව්. දන්නවා. අපේ ගෙවල් ළඟ. අර සාගර විශ්වවිද්‍යාලෙ ඉන්න හාදයනෙ...?"

"මිනිහ පට්ට වැඩ්ඩෙක්නෙ. මිනිහ සබ්මැරීන් එකක් හදල දැන් මාර ප්‍රසිද්ධයි...."

"නෑ...!" මට පුදුම හිතුණා. මෙච්චර එකක් වෙලත් මම හාංකවිස්සියක්වත් දැනගෙන හිටියෙ නෑනෙ.
ඕක තමයි කියන්නෙ ගමේ පුහුලන් ගමට අගේ නෑ කියල.

නොදන්න අයට දැනගන්නයි කියන්නෙ. මේක සරල වැඩක් වගෙ පෙනුනට ගොඩක් අමාරු අභියෝගයක්.

විෂේශයෙන්ම මුහුදු වතුරෙ ඝනත්වය වැඩියි. මුහුද යටදි පීඩනය දරාගන්න විදියට කුටියක් නිර්මාණය කරනව කියන එක පහසු කටයුත්තක් නොවෙයි. සමහර වෙලාවට පීඩනය වර්ග අඟලට ටොන් ගණනක් වෙන්නත් පුළුවන්. පොඩි හරි නොසැලකිළිමත්වීමකින් දුර්වල තැනකින් වතුර කාන්දු (leak) වෙන්න පුළුවන්. 

අනිත් එක තමයි මේ තාක්ෂණය හරිම දුර්ලභයි. කිමිදෙන්න සහ ආපහු උඩට එන්න පාවිච්චි කරන්නෙ ටැංකි වලට වතුර පුරවගන්න එකයි ආපහු හිස් කරන එකයි. මේකත් ගොඩක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. අධි පීඩන වායු තමයි හිස්කරන්න යොදාගැනෙන්නෙ. 

මීට අමතරව ඇතුළෙ ඉන්න අයට ස්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයුම ගැනත් හිතන්න වෙනවා.

කෙනෙකුට ගොඩක් සරලයි වගෙ පෙණුනට මේව බොහොම භාරදූර වැඩ. පොඩි හරි වැරදීමකින් ඇතුළෙ ඉන්න කාර්ය මණ්ඩලයට අනතුරක් වෙන්න පුළුවන්.

ඉතින් මේ අභියෝගය සාර්ථකව ජයගත්ත අපේ උදිත මලයට මගේ උණුසුම් සුභ පැතුම්.

අපේ රටට තවතවත් ඕන මේ වගෙ අළුත් දේවල් කරන මොළ. එහෙම අය ගැන දැනුවත් කිරීම මගේ යුතුකමක් විදියට හැඟුණු නිසයි මේ සටහන. අනිත් එක රට වටේටම මුහුද තිබුණත් අපේ රටේ සාගර සම්පත් ගවේශනය තියෙන්නෙ තවමත් ඉතා අසතුටුදායක තත්වයක.මේ වගේ අඩුවියදම් දේශීය තාක්ෂණික උපක්‍රම භාවිත කරනවනම් අපිට එයින් ගොඩ එන්න සුළු හරි රුකුළක් ලැබෙයි කියල හිතෙනව.




ප.ලි. මේක දැනට සෙමි-සබ්මැරීන්, ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම ගිලී නොයන මට්ටමේ තියෙන්නෙ. ඒ වුනාට උදිතට අවස්ථාවක් දෙනවනම් සම්පූර්ණයෙන්ම ගිලෙන මාදිලියෙ එකක් වුනත් හදන්න අවශ්‍ය කරන දැනුම තියෙනව කියල මට හොඳට විශ්වාසයි.

Tuesday, March 19, 2013

බැරිවෙලාවත් කැම්පස් යන්න බැරි වුනොත්.....? (උපාධි සිහිනය බොඳ වෙයිද....?)


මේ බ්ලොග් අඩවිය කියවන පාඨකයෙක් බොහොම අනුවේදනීය ඉල්ලීමක් කරල තිබුණා. ඉන් කියවුනේ මෙහෙම අදහසක්....

ලංකාවේ සරසවි වරම් හිමිවෙන්නෙ ඉතාම අතළොස්සකට වුනත් උපාධියක් ගන්න, තොරතුරු තාක්ෂණ හෝ ඉංජිනේරු වෘත්තිකයෙක් වෙන්න ආසාවෙන් ගොඩක් අය ඉන්නවා. ඒක ඒ අයගෙ සිහිනයක්. ඒ සිහිනය සැබෑකරන්න මග පෙන්වන්න කියලා ඔහු ආයාචනය කරනවා....

ඇත්ත. රටක උපාධියක් ගන්න ඕනම කෙනෙකුට අවස්ථාව තිබිය යුතුයි. 
මෙහෙම කිව්වම අපේ සරසවි ප්‍රජාවෙ සමහරු මාත් එක්ක ඔරොප්පු වෙන්නත් ඉඩ තියෙනව. ඒත් අමතක කරන්න එපා අපිට ඉගෙනගන්න වියදම් කරන්නෙ කැම්පස් ගියපු අයගෙ පවුල්වල අය විතරක් නොවෙයි. 

මහාචාර්ය ගංගානාත් කියන විදියටම අන්ත දුගී කුළී වැඩ කරන අයගෙ පවා දහඩියෙන්, කඳුලෙන් උපන් ධනයෙන් එකතු කරගත් බදු මුදලෙන් තමයි සරසවිවල ඉගෙන ගන්න ඔබත්, උගන්වන මමත් වියදම් කරන්නෙ. කොටින්ම මේක ලියන්න පාවිච්චි කරන අධිවේගී අන්තර්ජාල පහසුකම, විශ්වවිද්‍යාලෙන් මට දීල තියෙන කාමරයේ දැල්වෙන විදුලි බුබුල, දුවන වායුසමන යන්ත්‍රය පමණක් නොවේ මගේ වාහනයේ දැවීයන සෑම පෙට්‍රල් බිඳුවක් ගානෙ තියෙන්නෙ ඔවුන්ගෙ ජීවය.  

මම මේ කියන්නේ පෞද්ගලික සරසවි ගැන නොවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල නෙලාගත් අයෙකු වශයෙන් මම අධ්‍යාපනය පෞද්ගලිකකරණය නොකළ යුතුයි කියන ප්‍රතිපත්තියෙ ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක් කොහොමද මේ වගෙ ලිපියක් ලියන්නෙ කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්.

මම කියන්නෙ එහෙම දරන්න බැරි අධික මුදල් යටකරන්නෙ නැතුව වුනත් තාක්ෂණික උපාධියක් ලබාගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙක් නොදැක්කත් ලංකාවේ තියෙන බවයි!

සමහරවිට සම්පූර්ණයෙන්ම නොමිලෙ නොවෙන්න පුළුවන්.

පටන් ගන්න කලින් ආයෙමත් කියන්න ඕන වෛද්‍ය උපාධියක් සඳහා නම් රජයේ සරසවියකට පිටතින් සත 5ක් හෝ අයකරන උපාධි ආයතන වලට මම තදින්ම විරුද්ධයි කියන එක. මොකද එතනදි ගනුදෙනු කරන්නෙ වටිනා මිනිස් ජීවිතත් එක්ක. ඒත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වලට ඒ තරම්ම දැඩි වාරණයක් නොකර ටිකක් ළිහිල් කරන්න ඕනෙ කියලයි මගේ පෞද්ගලික මතය. මොකද එතනදි මනුෂ්‍ය ජීවිතත් එක්ක කරන සංවේදී ක්‍රියාවලියක් නොවෙයි වෙන්නෙ. අනිත් එක රජයේ විශ්වවිද්‍යාලවලට තනිවම තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ට ක්ෂේත්‍රයේ තියෙන අධික ඉල්ලුම සපුරන්න අමාරුයි.


මේ සඳහා තියෙන විකල්ප සලකා බලමු.


  1. විවෘත විශ්වවිද්‍යාලය
  2. තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය
  3. උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නොවන වෙනත් රජයේ විශ්වවිද්‍යාල
  4. රාජ්‍ය අනුබද්ධිත හෝ අර්ධ-රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන
  5. රජයේ අනුග්‍රහය ලබන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන

1. විවෘත විශ්වවිද්‍යාලය

මින් ජනප්‍රියම විසඳුම අංක 2 වුනත් මම විවෘත විශ්වවිද්‍යාලය ගේන්නෙ අංක 1ට. හේතුව මෙහෙම විස්තර කරන්නම්.

ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුනත් එංගලන්තය වගේ දියුණු රටවල ගොඩක්ම ජනප්‍රිය ප්‍රවණතාව තමයි ඔය. ලංකාවෙ විවෘත විශ්වවිද්‍යාලය එච්චරම ජනප්‍රිය නැත්තෙ ගොඩක්ම නොදැනුවත් භාවය නිසා සහ එහි ප්‍රාදේශීය මධ්‍යස්ථානවල පවතින අඩුලුහුඬුකම් නිසා. එහෙම ප්‍රාදේශීය මධ්‍යස්ථානවල උපාධිය පටන්ගෙන අතරමගදි කලකිරිල අත් හැර දාපු අය ඕන තරම් ඉන්නවා. ඒත්, අගනුවරට ආසන්න අය දැනුවත් වුනත් ගොඩක් දුර පළාත්වල අය දන්නෙ නැති දෙයක් තමයි නාවල තියෙන විවෘත විශ්වවිද්‍යාලයෙ මූලස්ථානය අනෙකුත් අගනුවර විශ්වවිද්‍යාලවල තියෙන විදියේ සියලුම මානව හා භෞතික සම්පත් වලින් පොහොසත් බව. 

විශේෂයෙන්ම එහි සේවය කරන ආචාර්යවරු ලංකාවේ අනෙකුත් සරසවිවල සේවය කරන ආචාර්යවරුන්ගේ සුදුසුකම් සියල්ලම නොඅඩුවම තියෙන අය. මොන වගේද කියනවනම් කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලාංකික සංගමයේ (Sri Lankan Association for Artificial Intelligence) වැඩිම සම්පත් දායකයින් පිරිසක් එහෙ අය.

අනෙක් වැදගත් කරුණ එහි පිහිටුවා තියෙන ඉගෙනුම් වටපිටාව. සරසවියකට ආවේනික ප්‍රසන්න, නිස්කලංක පරිසරයක් එහි තිබෙනවා. ඒ වගේම පුස්තකාල පහසුකම්. මේවා ඇතැම් විට බාහිර උපාධියක් හදාරන කෙනෙකුට එතරම්ම සමීප නොවන අත්දැකීම්. ඔන්න ඔය හේතුව නිසා තමයි ප්‍රොෆෙසර් ඕපන් යුනිව(ර්)සිටිය අංක එකට ගෙනාවෙ.

මෙහි ඉංජිනේරු තාක්ෂණ පීඨය (Faculty of Engineering Technology) මගින් පරිගණක / ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලා 2ක් පිරිනමනව. 


  1. තාක්ෂණවේදී (ඉංජිනේරු) (B.Tech. Eng.) - විදුලි, ඉලෙක්ට්‍රොනික් හා සන්නිවේදන, යාන්ත්‍රික, මිකාට්‍රොනික්ස් (Mechanical Engineering + Electronics) හා පරිගණක, සිවිල් හා ඇඟලුම්. 
    මේ සඳහා අවම වශයෙන් උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3ක් අවශ්‍යයි. 
    උසස් පෙළ වැඩ 3ක් නැත්නම් පදනම් පාඨමාලවක් (Technology Foundation) හදාරා අවශ්‍ය සුදුසුකම් සපුරාගත හැකියි. (පදනම් පාඨමාලාවන්ද විවෘත විශ්වවිද්‍යාලයෙන්ම හැදෑරිය හැකියි.) මෙය පස් අවුරුදු පාඨමාලවක්.
  2. මෘදුකාංග ඉංජිනේරුවේදී (Bachelor of Software Engineering)

(තවත් පාඨමාලා රාශියක් තිබුණත් මෙතනදි අවධානය යොමුකලේ පරිගණක හෝ ඉංජිනේරු විද්‍යා යන අංශ ගැන පමණයි.)


2. තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය


කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසැල (UCSC - University of Colombo School of Computing) මගින් හා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය මගින් තොරතුරු තාක්ෂණවේදී (BIT - Bachelor of Information Technology) උපාධිය පිරිනමනව. මේ සඳහා අවම වශයෙන් උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3ක් අවශ්‍යයි. 

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසැල (UCSC) මගින් පිරිනමන පාඨමාලාව ඔබට අවශ්‍යනම් වසරකින් හෝ දෙකකින් ඩිප්ලෝමා සහතිකක් සමඟින් අවසන් කළ හැකියි. නැතහොත් තුන්වන වසර දක්වා ගිහින් උපාධිය ගන්නත් පුළුවන්. 

උසස් පෙළ වැඩ 3 නැත්නම් UCSC මගින්ම පිරිනමන පදනම් පාඨමාලව (FIT (Foundation In Information Technology)) හදාරා මූලික සුදුසුකම් වලට ළඟා විය හැකියි. මීට අමතරව වෘත්තීය සුදුසුකම්ද සලකා බලනු ලැබෙනවා. (ඒ දෙකටම විකල්පයක් ලෙස.)

ඉගෙනුම් වාර නැත්නම් සෙමෙස්තර (Semesters) ක්‍රමයට තමයි ඉගෙනුම් කටයුතු කෙරෙන්නෙ. ඒ කියන්නෙ මේ වාරෙ ඉගෙන ගන්න විශයයන් කිහිපයට වාර අවසානයේ විභාගයක් තියල ඒක ඉවර කරල දානව. අළුත් සෙම් එක නොහොත් වාරයට බ්‍රෑන්ඩ් නිව් සබ්ජෙක්ට්ස්. (රජයෙ සරසවි වලත් එහෙමයි කෙරෙන්නෙ.)

පොඩි අවුලකට තියෙන්නෙ වාරය මැදදීත් ඇගයීම්, පැවරුම් වගේ ඒව අන්තර්ජාලය මගින් විශ්වවිද්‍යාලයට භාර දෙන්න වෙන එක (Continuous assessment).

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය මගින් පිරිනමන පාඨමාලාව ඔබට අවශ්‍යනම් වසරකින් සහතිකපත්‍ර පාඨමාලාවක් ලෙස හෝ දෙකකින් ඩිප්ලෝමා සහතිකක් සමඟින් අවසන් කළ හැකියි. නැතහොත් තුන්වන වසර දක්වා ගිහින් උපාධිය ගන්න පුළුවන්.  උසස් පෙළ වැඩ 3 නැත්නම් විකල්පයක් ලෙස වෘත්තීය සුදුසුකම් සලකා බලනු ලැබෙනවා. 

උසස් පෙළ නැති අයට විශ්වවිද්‍යාලය මගින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණයකටත් මුහුණ දෙන්න සිදු වෙනවා. මීට අමතරව සියලුම ඉල්ලුම්කරුවන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය විෂයයට සම්මාන සාමාර්ථයක්ද ලබා තිබිය යුතු වෙනවා.

වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්. 

පාඨමාලා පවත්වාගෙන යන ආකාරයනම් UCSC එකේ විදියටමයි.

බාහිර උපාධියක් හදාරනකොට දේශන ලබාගන්න වෙන්නෙ බොහෝ විට පෞද්ගලික ආයතනයකින්. 
එහෙත් විභාග පවත්වන්නෙ සහ ප්‍රතිඵල නිකුත්කරන්නෙ උපාධිය පිරිනමන විශ්වවිද්‍යාලයෙන්.

පූර්ණ කාලීනව හදාරන්න ඕන නෑ. අර්ධ කාලීනව, ඒ කියන්නෙ සති අන්තයේ හදාරන්න පුළුවන්. 

වාර පතා පාඨමාලා ගාස්තු විදියට ගෙවීම් කරන්නත් වෙනවා. මේ ගෙවීම් උපාධිය පිරිනමන විශ්වවිද්‍යාලයට හා දේශන සේවා සපයන පෞද්ගලික ආයතනයට වශයෙන් දෙ ආකාරයි. සාමාන්‍යයෙන් උපාධිය ගන්නකොට කොහොමත් ලක්ෂ හතර හමාර පනිනවා. ඒ කියන්නෙ වාරෙකට රු. 60,000 ක් විතර යනවා. (අවුරුද්දකට වාර 2යි.) සමහර ආයතනවල මාසික ක්‍රමයට ගෙවීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නෙ මාසෙකට දළ වශයෙන් 10,000- 20,000 අතර ගණනක්. ලබා දෙන පහසුකම් මත සහ ආයතනයෙ කීර්ති නාමය මත මේ ගාස්තු තීරණය වෙනවා. 

විශ්වවිද්‍යාල හා විභාග ගාස්තුනම් කාටත් එකයි. එය තීරණය කරන්නේ උපාධිය පිරිනමන විශ්වවිද්‍යාලය. එක් එක් අවුරුද්දේ මේ ගණන වෙනස් විය හැකියි.


3. උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නොවන වෙනත් රජයේ විශ්වවිද්‍යාල

මේ යටතේ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ, 


වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් තාක්ෂණවේදී උපාධි පාඨමාලා රාශියක් පවත්වනු ලබනවා.


(මේ ඔක්කොම නොවෙයි.)
වැඩිදුර තොරතුරු ඒ පාඨමාලාවට අදාල සබැඳිය (Link) මත ක්ලික් කිරීමෙන් ලබා ගත හැකියි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් 
  • යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව
  • සිවිල් ඉංජිනේරු විද්‍යාව
  • විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව
  • ගගන නොහොත් ගුවන්නාවික ඉංජිනේරු විද්‍යාව
  • නාවික ඉංජිනේරු විද්‍යාව
  • තොරතුරු තාක්ෂණය හා ගණිතය

පිළිබඳ උපාධි පාඨමාලා හැදෑරිය හැකියි. මීට අමතරව සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පිරිනමන

4. රාජ්‍ය අනුබද්ධිත හෝ අර්ධ-රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන


මේ යටතට ගැනෙන්නේ 
  • ජාතික ව්‍යවසායකත්ව හා කළමනාකරණ ආයතනය (NIBM - National Institute of Business Management)
  • ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික පාසැල (NSBM - National School of Business Management)

වැනි ආයතනයි.

NIBM මගින් මෑතක් වනතුරුත් උපාධි පාඨමාලා පිරිනැමුනත් දැන් එම අධිකාරය NSBM ආයතනයට පවරා තිබෙනවා. දැන් එහි පවත්වන්නෙ ඩිප්ලෝමා පාඨමාලා පමණයි. ඒ පිළිබඳ විස්තර මෙහි තිබෙනවා.
ඒ අනුව NSBM මගින් පිරිනමන උපාධි පාඨමාලා මෙයාකාරයි.
  • විද්‍යාවේදී (ගෞරව.) කළමණාකරන තොරතුරු පද්ධති - විශේෂ BSc (Hons) in Management Information Systems - Special
  • විද්‍යාවේදී (ගෞරව.) කළමණාකරන තොරතුරු පද්ධති - සාමාන්‍ය BSc (Hons) in Management Information Systems
  • විද්‍යාවේදී (ගෞරව.) පරිගණක විද්‍යාව BSc (Hons) in Computer Science
  • විද්‍යාවේදී (ගෞරව.) පරිගණක ජාලගතකරණය BSc (Honours) Computer Networks
  • විද්‍යාවේදී (ගෞරව.) තොරතුරු ආරක්ෂණය BSc (Honours) Information Security
  • විද්‍යාවේදී (ගෞරව.) මෘදුකාංග ඉංජිනේරුකරණය BSc (Honours) Software Engineering
  • විද්‍යාවේදී (ගෞරව.) වෙබ් නිර්මාණකරන තාක්ෂණය BSc (Hons) in Web Design and Technology
  • ශාස්ත්‍රවේදී (ගෞරව.) නිර්මාණශීලී බහුමාධ්‍ය BA (Hons) in Creative Multimedia
  • ශාස්ත්‍රවේදී (ගෞරව.) ත්‍රිමාණ සජීවීකරණය BA (Hons) in Animation
  • ශාස්ත්‍රවේදී (ගෞරව.) ඩිජිටල් ජායාරූපකරණය සහ නිරූපණය BA (Hons) in Digital Imaging and Illustration
වියදම දළ වශයෙන් ලක්ෂ 4 යි.

5. රජයේ අනුග්‍රහය ලබන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන
  • ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Information Technology - SLIIT)
SLIIT ආයතනය මගින් පිරිනමන උපාධි පාඨමාලා 

  • විද්‍යාවේදී විශේෂ (ගෞරව.) තොරතුරු තාක්ෂණය (සිවු අවුරුදු.) BSc Special(Hons) in Information Technology
  • විද්‍යාවේදී තොරතුරු තාක්ෂණය BSc in Information Technology 
  • විද්‍යාවේදී (තොරතුරු තාක්ෂණය.) ක්‍රියාශීලී බහුමාධ්‍ය (උදා. පරිගණක ක්‍රීඩා) BSc in (IT) Interactive Multimedia 
  • ඉංජිනේරු විද්‍යාවේදී (ගෞරව.) ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව BEng(Hons)in Electronic Engineering 
  • ඉංජිනේරු විද්‍යාවේදී පරිගණක පද්ධති BEng in Computer Systems Engineering 
වියදම ලක්ෂ හතර හමාර පනිනවා.
(ඔය කියල තියෙන්නෙ අවම වශයෙන් යන ගණන. තෝරාගන්නා පාඨමාලාව හා එය හදාරන කාලය අනුව වියදම මීට වඩා වැඩි වනවා.)

මේ ආයතන, විශේෂයෙන් SLIIT ආයතනය මූල්‍යමය පරමාර්ථ තිබුණත් අධ්‍යයන කටයුතු ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් පවත්වාගෙන යන්න උත්සාහ කරනව. 
සමහරු සල්ලිකාර පවුල්වල නාස්තිකාර මැටි මෝල්ලු වෙන කරන්න දෙයක් නැතිව අනාථවුනාම මේක කරන්න හිතුවත් (සමාජයේ මේ ආයතනය ගැන තියෙන වැරදි ආකල්පයක්. ඕන තරම් සැබෑ දක්ෂයො මට මෙහිදි හමු වෙලා තියෙනව.) මේක එහෙම එකක් නෙමෙ, ගෞරවණීය ආයතනයක්. (හැබැයි පිස්සු කෙලින්න බලාගෙන ඉන්න හාදයොත් ඒ අතරෙ ඉන්නව. ඒ අය කොලර් උස්සන්න ඕන නෑ මේ කියපු වර්ණනාවට.) සමහර ඉහළ මධ්‍යම පාන්තික පවුල්වල ළමයි ඉංජිනේරු විෂයන් හෝ පරිගණක විද්‍යාව කරන්න ළකුණු මදි වුනාම (උසස් පෙළ සමත්, භෞතික විද්‍යාව වගේ පාඨමාලාවකට තේරුනු.) විකල්පයක් විදියටත් මේ ආයතනය භාවිත කරනව. ඒ නිසා SLIIT කාරයො ඔක්කොම මෝඩයො කියල හිතාගෙන ඉන්නවනම් ඒ මතය වෙනස් කර ගන්න.
මම කියන්නෙ ඒක සාධාරණද අසාධාරණද කියන එක නෙමෙයි ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ.

මීට අමතරව වැල්ලවත්තෙ IIT (Informatics Institute of Technology) ආයතනය පෞද්ගලික ආයතනයක් වුවත් ඉහළ ගුණාත්මක භාවයක් තියාගන්න උත්සාහ දරනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ මානව සම්පත්වල එළිය ලැබීම එයට ප්‍රබල හේතුවක් විය හැකියි. නමුත් වියදම සාමාන්‍ය, මධ්‍යම පාන්තිකයෙකුට වුනත් දරාගන්න අමාරුයි.  මිලියනයක් පමණ වනවා. 

බෝක්කු ගානෙ තියෙන හොර ජාවා උපාධි කඩ නම් මට අනුමත කරන්න බෑ. පොඩ්ඩක් තේරුම් ගන්න, උසස් තත්වයේ පරිගණක / තොරතුරු තාක්ෂණ උපාධියකට අත්‍යවශ්‍ය එකිනෙකට වෙනස් විෂයයන් 30ක් පමණ තියෙනව. ඉන් සමහර ඒවට ප්‍රෝග්‍රැමින් (Programming, පරිගණක භාෂාවකින් පරිගණකයට උපදෙස් ලියන එක.) ගෑවිලාවත් නෑ. 

සමහර ආයතන ජාවා විතරක් උගන්වල උපාධි දෙනවලු. මොන ගොන් කතාවක්ද..? ජාවා කියන්නෙ එක වැඩසටහන්ගතකරණ (ප්‍රෝග්‍රෑමින්) භාෂාවක් විතරයි. ඒ කිව්වෙ අර කියපු මූලික විෂයන් 30 කින් විතර එකක් විතරයි.
(මතක තියාගන්න මෙහෙම කියන්නෙ ලංකාවෙ 1,2,3 රෑන්ක් දරන ප්‍රමුඛ පෙළේ ජාතික සරසවි 4කට දැනුමෙන් දායකත්වය සලසන වෘත්තීය සරසවි ඇදුරෙක් කියන එක.)

මේ ගැන නම් සටහන් තබන්නෙ හරිම කණගාටුවෙන්. ලංකාවේ සමහර ජාවා ඉන්ස්ටිටියුට් වල අයිතිකාරයන්ගේ තියෙනවායයි කියන උපාධි පවා හොර ඒවා. ඉෂාන්ත සිරිබද්දන කියන්නෙ එහෙම හොරෙක්. මිනිහ ලෝකෙ කිසිම පිළිගත් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබල නෑ. 
(ඒත් මිනිහ ගාව උගන්නවන ගුරුවරුත් ඔක්කොම ඒ වගේ කියල අපි කියන්නෙ නෑ.)
භයානකම කාරණය තමයි මිනිහගෙ ආයතනයෙන් දෙනවය කියන ජාත්‍යන්තර උපාධි පිරිනමන පිටරට විශ්වවිද්‍යාල සියල්ලෙම නිල වෙබ් අඩවි දුවන්නෙ කොළඹ තියෙන එකම සර්වර් එකක....!

ඒ එක්කෙනෙක් විතරයි. ඔබේ අහිංසක උපාධි සිහිනය විකුණන් කන ඒ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න.


කොයි උපාධියත් අමාරුයි තමයි හැබැයි කරගත්තොත් ගොඩ.
ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනය කරනවා.... 

Monday, March 18, 2013

ප්‍රොෆෙසර්ගෙන් නිතර අහන ප්‍රශ්න (FAQ)

Frequently Asked Questions


සතියකට prof.edu.lk@gmail.com ලිපිනයට ඊ-මේල් සෑහෙන ගණනක් එනවා. ඒ හැම එකටම වෙන වෙනම උත්තර දෙන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා. ඒත් අතිශයින්ම කාර්ය බහුළ නිසා සමහරවිට ඔබේ ගැටළුවට පිළිතුරක් තාමත් නොලැබී ඇති. 
ඒකට තරමක විසඳුමක් විදියට, ඒ අතරින් ටිකක් එක වගේ කියා හිතන, එක වරකට වඩා ඇසුන ප්‍රශ්න වලට පිළිතුරු මේ විදියට පළකරන්න තීරණය කළා. 
බලන්න බොහෝ විට ඔබේ ගැටළුවට විසඳුම මෙතන තියෙන්න පුළුවන්.

Q. මොරටුව විශ්වවිද්‍යාලයේ Information Technology and Management සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Business Information Systems උපාධිය ගැන ඔබ සඳහන් කර නැහැ. මේවාට තිබෙන රැකියා ඉල්ලුම ගැන සඳහන් කරන්න.
A. මේ උපාධි 2ම තොරතුරු තාක්ෂණය සහ කළමනාකරන යන විෂය පථ 2 ම ආවරණය කරන්නට වෙර දරන ඉතාම උසස් තත්වයේ පාඨමාලා. කළමනාකරණ දැනුම යනු තොරතුරු තාක්ෂණ උපාධියකට අනිවාර්යයෙන්ම අගය වැඩි කිරීමක් (Value Addition). මේ ගැන සවිස්තරාක්මකව මෙහි කතා කර තිබෙනවා. නැවතත් සැකෙවින් (සැකයෙන් නෙමෙයි) කිවුවොත් මෘදුකාංග කර්මාන්තයේදී අපි පද්ධති හදන්නෙ ව්‍යාපාරිකයින්ටනෙ. ඒක නිසා ව්‍යාපාරික ක්‍රියාවලි (Business Process / Business Logic) සහ ව්‍යාපාර සම්පත් කළමානාකරණය (Enterprise Resource Planning), ගිණුම් තැබීම උදා. Double Entry වැනි සංකල්ප ආදී දැනුම වැදගත් වනවා.

ලංකාවේ විශ්වවිද්‍යාලවල ප්‍රදානය කරන හැම උපාධියක් ගැනම එහි සඳහන් කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. විශේෂයෙන් ඔය සබරගමුව, ඌව වෙල්ලස්ස වගේ අළුත් විශ්වවිද්‍යාලවල (පමණක් නොවේ අනෙක් ඒවගෙත්) අවුරුදු පතා අළුත් අළුත් හොඳ පාඨමාලා හඳුන්වා දෙනව. හොඳම දේ ඒ අවුරුද්දෙ UGC Hand-Book එක බාල (Download කරල) ඒ ගැන දැනුවත් වෙන එක. 


අළුත්ම පාඨමාලා ගැනනම් ඉතින් ප්‍රොෆෙසර්ටත් පේන කියන්ඩ බෑනෙ.


Q. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසැල (University of Colombo - School of Computing) මගින් පිරිනමන IS (Information Systems) උපාධිය ගැන දැනුවත් කල හැකිද?
A. මේ ලින්ක් එකේ තියෙන්නේ තොරතුරු පද්ධති පිළිබඳ අන්තර්ජාතික පිළිගත් සම්මුතිය. මොරටුව, කොළඹ වැනි විශ්වවිද්‍යාල පාඨමාලා සම්පාදනය කිරීමේදී අනුගමනය කරන්නේ මේ පාඨමාලා ආකෘති. ඒක නිසා මෙහි අන්තර්ගතවන මූලික විෂය පථයන් ආවරණය කරන්න තමයි විශේෂ අවධානය යොමුවෙන්නෙ. ඒ එක් එක් විශෂයන් ගැන මම වෙන වෙනම කතාකරන්න බලාපොරොත්තුවක් නෑ.

Q. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පවත්වන Computing and Information System කියන degree එක ගැන දැනුවත් කල හැකිද?
A. මේ උපාධි පාඨමාලාව (Special Degree in Computing and Information Systems) සහ Special Degree in Computer Science and Technology යන උපාධි 2ම පිරිනමන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයෙ ව්‍යවහාරික විද්‍යා (Applied Science) පීඨය මගින්. මෙහි පරිගණක විද්‍යා සහ තොරතුරු පද්ධති යන ක්ෂේත්‍ර දෙකේම ලක්ෂණ යම් පමණින් මුසු කොට තිබෙනවා. පෞද්ගලික මෘදුකාංග ක්ෂේත්‍රය අභිමුඛ කරගත් (Industry Oriented) පාඨමාලා ලෙස හඳුන්වන්න පුළුවන්.

රැකියා ඉල්ලුම ගැන කතා කළොත්, ඔය මොන විශ්වවිද්‍යාලයෙන් පිරිනමන තොරතුරු තාක්ෂණ/පරිගණක විද්‍යා උපාධියටත් අඩංගු වන මූලික අනිවාර්ය විශයයන් ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා ඉන් බිහිවන උපාධිධාරීන්ගේ දැනුම පිළිබඳ සැකයක් තියාගන්න එපා. ලංකාවේ පෞද්ගලික මෘදුකාංග සමාගම් 400+ කටත් වඩා තියෙන නිසා මොන උපාධිය කළත් ප්‍රශ්නයක් නම් ඇතිවෙන්න විදියක් නැහැ. ටිකක් පහු වෙලා හරි රැකියාවක් ලැබේවි. ඕනෑම රජයේ සරසවියක ඔය කියන උපාධියක් තිබේනම් පෞද්ගලික උපාධිධාරීන් එක්ක ඇත්තටම තරඟයක් නෑ. මොකද සමාගම්වල අය දන්නවා රජයේ සරසවිවල ඉගෙන ගන්නේ උසස්පෙළ ඉහළින් සමත්, ඒ කියන්නේ ජීවිතයේ කැපකිරීම් කරන්න පුළුවන්, යමක් දරාගන්න පුළුවන් මිනිස්සු කියලා. ඒ නිසා කිසිම ආකාරයක හීනමානයක් තියාගන්න එපා ඒ ගැන.

Q.ලංකාවේ මෘදුකාංක ඉන්ජිනේරුවරයෙකුගේ වැටුප කොපමණ වේද...?
A. පුහුණු වන කාලයේ රු. 15,000 ක් පමණ අගයක සිට 30,000 පමණ විය හැකියි. සේවය ස්ථිර වූ පසු 35,000 ඉක්මවනවා. මා මේ කියන්නේ තත්ත්ව පරීක්ෂක (QA) නොවෙයි.මෘදුකාංග සංවර්ධක (Dev.). නමුත් වැටුප කෙරෙහි බොහෝ සාධක බලපානවා. දේශීය හිමිකාරිත්වය දරන (Locally Owned) සමාගම්වලනම් වැටුප මීටත් වඩා අඩුවිය හැකියි. බහුජාතික (අන්තර්ජාතික) සමාගම්වල නම් ආරම්භවන්නේ (පරිවාස කාලය හෝ පුහුණුවෙන් පසු) රු. 55,000 - 60,000 පමණ ඉහළ වැටුපකිනුයි. නමුත් ඔබේ දක්ෂතාවයන් නිරන්තරයෙන්ම අධීක්ෂණය කරනු ලබනවා. පුහුණුවෙන් පසු හා ඊට පසුත් වැටුප් වැඩිකිරීමේදී අනිවාර්යෙන්ම ඔබේ දක්ෂතා බලපානවා. (පුහුණුව හෝ පරිවාස කාලය අවම 6 මාසික, උපරිම වසර 1යි.)

Q. යම් හෙයකින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළු විය නොහැකි වුවහොත් Engineering, Automation, Robotics වැනි විෂයයන් පිළිබඳ හැදෑරිය හැකි ක්‍රමයක් තිබෙනවාද..?
A. ඔව්. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මගින් පිරිනමන විද්‍යාව හා තාක්ෂණය (Science & Technology) සිවු අවුරුදු පාඨමාලාව Mechatronics Special (විශේෂවේදී) ලෙස හැදෑරිය හැකියි. මෙම පාඨමාලාව Electrical Engineering, Control Theory, Power Electronics, Robotics යන සියළුම විශෂයන් ආවරණය කරනවා.

Q. ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යා විෂයන් හදාරා පශ්චාත් උපාධිය සඳහා තොරතුරු තාක්ෂණය හැදෑරිය හැකිද..?
A. ඔව්. භෞතික විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාව යන විශයයන් තුන විශේෂයෙන් ප්‍රථම හා පශ්චාත් උපාධිවලදී ඉන් එකකින් වෙනත් ඕනෑම එකකට සිය උනන්දුව අනුව වෙනස් කල හැකියි. භෞතික විද්‍යාව, ගණිතය පමණක් නොවේ, අවශ්‍යනම් රසායන විද්‍යාව, ජීව විද්‍යාව පවා හදාරා පසුව තොරතුරු තාක්ෂණයට මාරු විය හැකියි.

Q. ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යා විෂයන් හදාරා පශ්චාත් උපාධිය සඳහා ඉංජිනේරු විද්‍යාව හැදෑරිය හැකිද?
A. ඔව්. නමුත් ඒ සඳහා අදාල විෂයයක් ප්‍රථම උපාධියට හදාරා තිබිය යුතුයි. උදාහරණයක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ Industrial Automation M.Sc.සඳහා Electronics හෝ Mechatronics යන විෂයයන් හදාරා තිබීම වැදගත් සහ අනිවාර්ය වනවා. මීට අමතරව ගණිතය පිළිබඳ ඉහළ මට්ටමේ දැනුමද බෙහෙවින්ම අවශ්‍ය වෙනවා. මේ කරුණු කෘතිම බුද්ධිය (Artificial Intelligence) වැනි සංකීර්ණ විෂයයක් වැඩිදුර හැදෑරීමටද වලංගු වනවා. (මොරටුව විශ්වවිද්‍යාලය මගින් එය හැදෑරිය හැකියි.)

Q. ලංකාවේ සරසවියක ජීව වෛද්‍ය ඉන්ජිනේරු විද්‍යාව (BioMedical Engineering) හැදෑරිය හැකිද...?
A. ප්‍රථම උපාධිය ලෙස (දැනට) නොහැකියි. නමුත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඒ සඳහා අදහසක් තිබෙනවා. ජෛව තොරතුරු තාක්ෂණය (BioInformatics)  නම් බොහෝ පරිගණක විද්‍යා උපාධිවල වෛකල්පිත විෂයක් ලෙසට හැදෑරිය හැකියි. ජෛවතාක්ෂණය (Biotechnology) ද අවශ්‍යනම් (ජීවවිද්‍යා දෙපාර්තුමේන්තුවකින්) හැදෑරිය හැකියි.
ඒ පිළිබඳව ආචාර්ය උපාධියක්නම් හැදෑරිය හැකියි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් හා සන්නිවේදන ඉංජිනේරු (Electronic & Telecommunication Engineering) දෙපාර්තමේන්තුව මගින්. මෑතකදී එය එම විශය ක්ෂේත්‍රයේ පර්යේෂණාගාරයක්ද සතු කර ගත්තා පෞද්ගලික අංශයේ අනුග්‍රහය ඇතුව.

Q. පශ්චාත් උපාධියක් සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද...?
A. ප්‍රථම උපාධිය අවසන්කළ හැටියේම නම් ගෞරව උපාධියක් (සිවු අවුරුදු විශේෂ එකක් නම් වඩාත් හොඳයි.), ප්‍රථම පන්ති (1st Class Honors)  හෝ දෙවන ඉහළ (2nd Upper Honors) පන්ති සාමාර්ථයක් සහිතව. දෙවන පහළ (2nd Lower) හෝ සාමාන්‍ය (General) නම් අවම වශයෙන් වසරක වෘත්තීය පළපුරුද්ද අවශ්‍යයි. මීට අමතරව විශ්වවිද්‍යාලය මගින් පවත්වන බුද්ධි පරීක්ෂණය (IQ Test) හෝ සම්මුඛ පරීක්ෂණය හෝ මේ දෙකම සමත්විය යුතුයි.

Q. ලංකාවේදී ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ හැකිද? ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද.? ගතවන කාලය කොපමණද..?
A. ඔව්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්වාත් උපාධි විද්‍යා ආයතනය (PGIS-Post Graduate Institute of Science) සහ
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආචාර්ය උපාධිය සඳහා පහසුකම් සපයනවා.
සුදුසුකම් ලෙස බොහෝවිට විද්‍යාපති (M.Sc.-Master of Science OR M.Phill.- Master of Philosophy)  උපාධියක් අවශ්‍යයි. ඉතාම සුවිශේෂී අවස්ථාවල (Extra-Ordinary) පමණක්, අසාමාන්‍ය දක්ෂතා පෙන්නුම් කර ඇති විට (Exceptional cases) ප්‍රථම උපාධියෙන්ම සුදුසුකම් ලබනවා.
මොරටුව විශ්වවිද්‍යාලයේ අර්ධකාලීන (Part-Time) ව හදාරන්නට අවම වශයෙන් වසර 5ක් ගතවනවා. පූර්ණ කාලීනව (Full-Time) නම් අවමය වසර 3 යි.

Q. ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලේ හොඳ පාඨමාලා තිබුණත් එහි ප්‍රමාණවත් ගුරුවරු නෑ කියන්නේ ඇත්තද...? එයට ඇතුළත් වුවහොත් අනෙකුත් සරසවි සිසුන් අතර 'අල ' (කොන්) වීමකට සිදුවේද...?
A. ගුරුවරු නැති ප්‍රශ්නය හැම සරසවියටම පොදු එකක්. රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයත් ඔය අර්බුධයෙන් හොඳටම පෙළෙන බැටකන ආයතනයක්. දුෂ්කර පළාත්වල සේවයට යන්න දක්ෂ ගුරුවරු කැමති නැහැ. අමතර ආදායම් අඩුවීම, වැඩිදුර අධ්‍යාපනය අසීරු වීම, දරුවන්ගේ ජීවන හා අධ්‍යාපන තත්ත්වය පහත වැටීම ඊට මූලික හේතුයි. ඒ ගැන ඔය පළාත්වල උඩ පැනගෙන ගිහින් සරසවි පිහිටුවන දේශපාලකයින්ට ඒ ගැන ගානක් නැහැ. මම දන්න විදියට ඌවෙ ඔය කියන තත්ත්වය තදින්ම තියෙනවා. 
දැනට ආචාර්ය උපාධිය සඳහා එහේ සෑහෙන දක්ෂ ගුරුවරු පිරිසක් විදේශ ගතවෙලා. එයාල ආවම ඔය ප්‍රශ්න විසඳෙයි ඉක්මනට.
ඔය කොන් වෙන කතාව ඇවිත් තියෙන්නෙ එහේ ශිෂ්‍ය සංගම් හදන්න දෙන්නෙ නැති නිසා. ඒකට ඉතින් ළමයි පළි නෑනේ. (ඇඩ්මින් එක කියන විදියට නටන පිරිසකුත් ඉන්නවා නැත්තෙ නෑ.) 
ඉගෙනගන්න යන අය ඒ ගැන වදවෙන්නෙ නැතුව යන වැඩේ කරගත්ත නම් හරි.

Q. ලංකාවේ සරසවිවල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය ගැන ඔබගේ අදහස කුමක්ද...? ළමයි ඒවට යන එක ගැන ඔබ එකඟද..?
A. ඕකට සෘජු පිළිතුරක් දෙන්න බෑ. එහෙම කරන්න ගියොත් වෙන්නෙ ඒක මගෙ පුද්ගලික මතය වෙන එක.
මෙහෙමයි. ඕකෙ දෙපැත්තක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ හරි සමාජයේ හරි රටේ හරි අසාධාරණය දකින්න, ඊට එරෙහි වෙන්න සරසවි ශිෂ්‍යයින්ට අයිතියක් තියෙනවා. ඔවුන් මේ රටේ වගකීමක් දරණ පුරවැසියොනෙ.
ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ වෙනුර එදිරිසිංහලා, ත්‍රීමාලා ජීවිත පරිත්‍යාග නොකරන්නට අද නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නෑ. ඔවුන් සැබෑ වීරයෝ. අපි ඔවුන්ට ණය ගැතියි. 
ඒත් පටු දේශපාලන අරමුණු වලට ඒව ගාවගන්න එක වැරදියි. දැන් ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරයෙ වැඩි බලතල තියෙන්වායැයි කියන සංවිධානයෙ පිටුපස තියෙන දේශපාලනයට මම පෞද්ගලිකව කැමති නෑ. (ටිකක් වැඩි වුනාද මන්ද. ඕකනෙ මම මුළදිම කිව්වෙ.)
නමුත් ඔවුන් පවා හොඳ වැඩ නොකරනවා නොවෙයි. ඒ වගේ වෙලාවට සහය දක්වලා අනෙත් වෙලාවට පාඩුවෙ හිටියනම් හරි. වැඩිය බදාගෙන ඕව කරන්න යන්න ඕන නෑ. අපි කැම්පස් ආවෙ දේශපාලය කරන්න නෙමෙයිනෙ. ඉගෙන ගන්න. ඉස්සෙල්ල ඒක කරගෙන ඉන්න ඕන. 

ඔබේ අනන්‍යතාව හෙළි කළ හැකිද...?
හැකියි. නමුත් එහි ඇති වැදගත්කම...? මා පෞද්ගලිකව හඳුනාගැනීමෙන් මීට වඩා සෙතක් සැලසේයැයි ඔබට සිතේනම් (මට නම් එහෙම හිතෙන්නෙ නෑ.) පහත විද්‍යුත් ලිපිනයෙන් අදාල විස්තර ලබාගත හැකියි.

prof.edu.lk@gmail.com

Tuesday, November 20, 2012

පාඩම් කරන හැටි....


(ඉස්සෙල්ලම කියන්න ඕනෙ මෙ ලිපිය සරසවි ප්‍රජාවට විතරක් නොවෙයි ඕනෑම විභාගයක් සඳහා සූදානම් වෙන ඕනෑම කෙනෙකුට වැදගත් වෙයි.ඇත්තටම මේක මතක තියාගන්න ක්‍රමයක් ගැන ලියල තියෙන්නෙ. විභාගෙකට විතරක් නොවෙයි යමක් මතක තියාගන්න ඕනෙ ඕනෙම අවස්ථාවක මේ ක්‍රමය අත් හදා බලන්න.)



ඔන්න ඔය ඉහත දක්වලා තියෙන ආකාරයේ පණිවුඩයක් ෆේස්බුක් හරහා හුවමාරු වෙනවා දැකලා මේ සටහන තියන්න හිතුනා.

මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න හැකියි. මෙහි උපරිමය 4.0 හෝ 4.5 දක්වා ගන්නවා. උපාධියේ පන්ති සාමාර්ථය (Class) (උපාධිය හැදෑරීමේදී ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දැක්වූ කුසලතාව පිළිබඳ දර්ශකයක්) ඒ කියන්නේ පළමු පෙළ (1st Class) ද , දෙවන පෙළ ඉහළ (2nd Upper) , දෙවන පෙළ පහළ (2nd Lower)  හෝ සාමාන්‍ය සාමාර්ථයක් (General Pass) ද යන්න තීරණය වන්නේ මෙන්න මේ කියන GPA අගය මත. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ රැකියාවක් හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය (ඒ සඳහා සලකා බැලෙන්නේ පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථලාභීන්) හැම විටම මෙහි අගය 4.0 ආසන්නව, අඩු ගණනේ  3.5 ට ඉහළව තබා ගන්න උත්සාහ කරනවා. මේ නිසා සරසවිව තියෙන්නේ (උසස් පෙළ වගේ) තරඟකාරී විභාග නොවුනත් (තරඟකාරී විභාගයක ලක්ෂණය තමයි සමත් වුනත් සාපේක්ෂව ඉහළම ළකුණු නොගත්තොත් අසමත් වුනා හා සමාන සැලකීම්වලට බඳුන් වීම.), කණ්ඩායමේ කීපදෙනෙක් අතරේ සීතල යුද්ධයක් දකින්න පුළුවන්. අවාසනාවකට මේ අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ අරමුණට ළඟා වීම මිසක් විශය කරුණු මනාව වටහාගෙන අවබෝධයකින් කටයුතු කිරීම නොවෙයි. මේකට කියන්නේ කටපාඩම් කිරීම හෝ වනපොත් කිරීම බව කවුරුත් දන්නවා. සරසවි ප්‍රජාව මේකට කියන්නේ 'ගිරවා දැමීම' කියලා.

මේ 'ගිරවා දැමීම' අඩු වැඩි වශයෙන් ජීවිතයේ කඩඉම් තරණය කිරීමේදී හැමෝටම අකමැත්තෙන් වුනත් කරන්න වෙන දෙයක්. පෞද්ගලිකව මම නම් ඒකට අංශු මාත්‍රයක්වක් කැමති නැහැ. අපි හැකි සෑම විටම උත්සාහ කළ යුත්තේ අදාල කරුණ හොඳින් තේරුම් අරගෙන හිතට දාගන්න එකයි. තමන්ට තේරෙන්නෙ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් (කුප්පියක් දා ගන්න.). 

කොහොම වුනත් සමහර විශය වල කරුණු මතක තියාගන්නම වෙනවනේ. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මතක හිටින්නෙ නැති එක. මෙන්න ඒකට අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් (ක්‍රමයක්).
'අය්යෝ ක්‍රම නම් ඔය ඕන කෙනෙකුට කියන්න පුළුවන්....ඒත් කොහොමද ඒව හරි කියල අපි විස්වාස කරන්නෙ...?' කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි. කෙනෙක් ක්‍රමයක් කියල දෙනවනම් එයා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙන්න ඕනෙනෙ. ඒක තර්කාණුකූලයි. හරි. මේක ලියන මම රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මම මෙතනට ආවෙ මෙ කියන ක්‍රමයෙ සාර්ථකත්වය මත තමයි. දැන් හරිද..?

ආ...හ්. අමතක වුනා. කෙනෙක් කියයි මෙහෙම..."සර්ට නම් ඉතින් ඕක නැතුව වුනත් ඔහොම වෙන්න පුළුවන්...ගොඩ දාන එකා කොහොමත් ගොඩ දානවා...මීටරේ හොඳ නම් ඔය කොයි එකත් එකයි....". ඒ කතාව හරිද වැරදිද කියල මෙන්න මේ කතාව කියවල ඔබම තීරණය කරන්න.
මේ ලියන මම උසස් පෙළ පළමු වර අසමත් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද....? ඔව් ඒක ඇත්ත...අසමත් වුනේ ගණිත විශය ධාරාවේ අයට කවදත් පෙන්නන්න බැරි රසායන විද්‍යාව....එසේ මෙසේ අසමත් කමක් නොවෙයි ලකුණු 13යි. මේ වැටුණු අමාරුවෙන් ගොඩ එන්න ගිහින් එක එක අත් හදා බැලීම් කරනකොට තමයි මේ කියන්න යන ක්‍රමය මතුවුනේ....! ඒ කියන්නෙ මේ ක්‍රමය පාවිච්චි කරල මාස කිහිපයක් ගතවෙනකොට රසායන විද්‍යාවට මම රැස් කළ ලකුණු සාමාන්‍යය 92ක්.  (ඒ සඳහා ඉතින් ඉස්සෙල්ලම් ඒ විෂයයට තියෙන අසාධාරණ වෛරය නැති කරන්න ඕනෙ. ඒ කියන්නෙ ඒකට කැමැත්තක් කෘතිමව හරි ඇති කරගන්න ඕනෙ.)

ඔය තරම් අගය කරන මේ අමුතු ක්‍රමය මොකක්ද කියල දැන්වත් බලමු.

ඉස්සෙල්ලාම සම්ප්‍රදායික විදියට කෙටි සටහනක් හදා ගන්න. හැබැයි කරුණු වාක්‍ය විදියට තවමත් තියෙන්න බෑ. (තාමත් එහෙම නම් ඔබ හදල තියෙන්නෙ ෂෝර්ට් නෝට් එකක් නොවොයි, ලෝන්ග් නෝට් එකක්.) තියෙන්න ඕනෙ කරුණු ලැයිස්තුවක් විදියට.

උදා. 
ප්‍රධාන මාතෘකාව.
  හැඳින්වීම
වැදගත් කරුණු.
  1. පළමු කරුණ.
  2. දෙවන කරුණ.
  3. තෙවන කරුණ.
  4. සිවුවන කරුණ.
උප මාතෘකාව 1
  1. පළමු උප කරුණ.
  2. දෙවන උප කරුණ.
  3. තෙවන උප කරුණ.
  4. සිවුවන උප කරුණ.
  5. පස්වන උප කරුණ.

මේ ආකාරයට ඇත්තම කෙටි සටහනක් හැදීගෙන යනවනම් මීලඟට සපයා ගන්න තියෙන්නෙ බිත්ති පුවරුවක්. එක්කෝ කළු ලෑල්ලක්, වියදම දරා ගන්න පුළුවන්නම් වයිට් බෝර්ඩ් එකක්. (රට හුණු හෝ ලියන වයිට් බෝඩ් මාකර් පෑන් ඕන වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.)

දැන්, ඉස්සෙල්ල ගන්න මුල් පිටපත. (කෙටි සටහන නොවෙයි.) කියවන්න එක පිටුවක් හෝ එක කුඩා පරිච්චේදයක්. දැන් ඒ පොත පැත්තකින් තියන්න. තියල සුව පහසු විදියට හිඳගෙන හරි හෙමින් ඇවිදින ගමන් හරි (හාන්සි වෙන්න යන්න එපා නින්ද යයි!) කියෙව්වෙ මොනවද කියල දල වශයෙන් අදහසක් තියෙනවද කියල (අඩු ගානෙ මොකක් ගැනද මේ පාඩම කියලවත්) හිතින් විමසල බලන්න.
දැන් ගන්න කෙටි සටහනේ අදාල කොටස. කලින්ට වඩා හොඳ අවාධානෙන් හෙමීට කියවන්න. තමන්ට මේ කරුණ ඉතා පැහැදිලියයි හැඟෙන තරමට කියවන්න. (මේ වෙලාවෙදි මතක තියාගන්න උත්සාහ දරන්න එපා.) පිටුවකට (මුළදි පිටු බාගෙක කරුණු වුනත් කමක් නෑ.) වඩා කියවන්න යන්න එපා වැඩේ හුරු වෙනකම්.

අන්තිම වතාවටත් කියවපු කොටසට බැල්මක් දාන්න. ඒ දාන ගමන් එක් එක් කොටසෙ කරුණු / උප කරුණු කීයක් තියෙනවද කියල විතරක් මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රධාන කරුණු 4යි.
දැන් කෙටි සටහනත් සම්පූර්ණයෙන්ම වහන්න. වහල පැත්තකින් තියන්න. අතට ගන්න එපා. හිස් අතින් යන්න බෝර්ඩ් එකට*. හිතින් මතක් කරමින් අදාල කරුණු 4 ලියන්න උත්සාහ කරන්න. පිළිවෙල වැදගත් නෑ. මතක් වෙන විදියට ලියන්න. (පස්සෙ පුළුවන්නම් පොත නොබලා ආපහු පිළිවෙලට ලියන්න.) කොහොමහරි හරි පොත නොබලා අමාරුවෙන් මතක් කරගෙන ලියන්න උත්සාහ කරන්න.
බැරිම වුනොත් ලියපු දේවල් සම්පූර්ණයෙන්ම මකලා ආපහු සටහන අරගෙන කරුණු 4ම බලන්න. නැවත පොත වහල බෝර්ඩ් එකට ගිහින් (හිටගෙන.) කරුණු 4ම එකපාර ලියන්න උත්සාහ කරන්න. මේ විදියට සියළුම කරුණු එකපාර පොත නොබලා ලියන්න පුළුවන්නම් වැඩේ ගොඩ. 

උප කරුණු 5ටත් මේ විදියටම කරන්න. මතක තියාගන්න පොත වහල බෝර්ඩ් එකට යන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. ඔලුවෙ වැඩ කරන්නෙ මතක තියාගත්ත සංකීර්ණ කරුණු වෙනුවට 5 කියන සරල ඉලක්කම විතරයි.!

රූප සටහන් මතක තියාගන්නෙත් මීට සමාන ක්‍රමේකට. 



මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි. මානසිකව වැටෙන්න එපා. ඕනම කෙනෙකුට එහෙමයි. නැවත නැවතත් උත්සාහ කරන්න. හැබැයි සියල්ලම නම් කරන්න හැකි වන තුරු.

මේක සෑහෙන වෙලාව ගතවෙන වැඩක් කියල මම දන්නව. ඒක නිසා අන්තිම මොහොතෙ පාඩම් කරන්න ගොඩ ගහගන්න අයට මේකෙ ප්‍රයෝජනයක් නෑ. අනිත් එක වැඩේ හුරු වෙනකම් ටිකක් අමාරුයි. හිත එකඟ කරගන්න එක අමාරුයි තමයි. හැබැයි ඒක නිකම් ඉඳලා නොවෙයි, පුහුණුවෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් එකක්. අත්දැකීමෙන් කියන්නෙ.

සිහිකල්පනාව සහ මතක ශක්තිය මේ පුහුණුවත් එක්ක පහළවෙන ඒවා. මේ පුහුණුව කොතරම වැදගත්ද කියනවනම් විශ්වවිද්‍යාලෙදි ගොඩක් විශයයන් ඉතාම ඉහලින් සමත් වෙන්න දේශනයට සහභාගී වෙලා හොඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වුනා. ඒ කියන්නෙ සමහර විෂයයන් වලට මම අධ්‍යයන නිවාඩුවෙ පාඩම් කළෙත් නැහැ. පාඩම් කරන්න සටහන් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණෙ පිටු 2-3ක් විතරයි. ඒ කාලෙ කලේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. නමුත් ප්‍රතිඵලවල කිසිම අඩුවක් නැහැ. මේක අදටත් ගොඩක් අය විශ්වාස නොකළත්, ඇත්ත තත්වය. මේක කරන්න බැරි දෙයක් කියලයි එයාලගෙ අදහස. මම කියන්නෙ පුළුවන්, හැබැයි ගිරවා දැමීමෙන් නොවෙයි, දෙයක් තේරුම් ගැනීමෙන් පමණයි ඒ දේ කරන්න පුළුවන්. 

ඔබ සරසවි ශිෂ්‍යයෙක්නම් අනිවාර්යයෙන්ම හැමදාම දේශන වලට යන්න. එය ඉතා වැදගත්. මොකද දේශනය ඔබට තේරෙන්නෙ නැතිනම් දේශකයා කියන හෝ ලියන දේ ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන පස්සෙ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ.(තනිවම හරි තව කෙනෙක්ගෙ උපකාරය ඇතුව හරි.) (මම දන්නවා ඇවිත් බෝර්ඩ් එකට උගන්නලා යන යන මහාචාර්යවරු ඉන්නවා. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. අපි කරන්නෙ ඉතින් පෑන ලියවෙනවද බලන්න බෝර්ඩ් එකේ ඉරක් ඇන්දත් ඒකත් ඒ විදියටම සටහන් කරගන්න එකයි. පස්සෙ සටහන තේරුම් ගන්නකොට තමයි අපිටම හිනා යන්නෙ..!!)  තේරෙන්නෙ නෑ කියන එක දේශන මගහරින්න සාධාරණ හේතුවක් නොවන බව මතක තබා ගන්න. එතකොට වෙන්නෙ (දවසක් හෝ කිහිපයක් මගහැර යළි දේශන වලට සහභාගී වෙන දවසට ) කොහෙත්ම තෙරෙන්නෙ නැතුව යන එකයි. මොකද අළුත් පාඩමට කළින් දේශන වල සම්බන්ධයක් තියෙන්න පුළුවන්. 

එක එක ගුරුවරු උගන්නන විදියත්, එක එක ශිෂ්‍යයාගේ මතක ධාරිතාවත් වෙනස් කියලා මම දන්නවා. හැබැයි ඔය කියපු දෙවෙනි කරුණ ඕනම කෙනෙකුට උත්සාහයෙන් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා කියන්නෙ අත්දැකීමෙන්. ඒකට මේ කියල තියෙන මතක තබා ගැනීමේ ක්‍රමය පිටුවලක් වේවා කියන එකයි මගෙ පැතුම.

*බෝර්ඩ් එකේ ලියන ක්‍රමය නම් මගේම එකක් නොවෙයි, මගෙ ව්‍යවහාරික ගණිතය ගුරුදේවයන් වූ ජනක අබේවර්ධනයන්ගෙ සොයාගැනීමක්.