Monday, March 18, 2013

ප්‍රොෆෙසර්ගෙන් නිතර අහන ප්‍රශ්න (FAQ)

Frequently Asked Questions


සතියකට prof.edu.lk@gmail.com ලිපිනයට ඊ-මේල් සෑහෙන ගණනක් එනවා. ඒ හැම එකටම වෙන වෙනම උත්තර දෙන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා. ඒත් අතිශයින්ම කාර්ය බහුළ නිසා සමහරවිට ඔබේ ගැටළුවට පිළිතුරක් තාමත් නොලැබී ඇති. 
ඒකට තරමක විසඳුමක් විදියට, ඒ අතරින් ටිකක් එක වගේ කියා හිතන, එක වරකට වඩා ඇසුන ප්‍රශ්න වලට පිළිතුරු මේ විදියට පළකරන්න තීරණය කළා. 
බලන්න බොහෝ විට ඔබේ ගැටළුවට විසඳුම මෙතන තියෙන්න පුළුවන්.

Q. මොරටුව විශ්වවිද්‍යාලයේ Information Technology and Management සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Business Information Systems උපාධිය ගැන ඔබ සඳහන් කර නැහැ. මේවාට තිබෙන රැකියා ඉල්ලුම ගැන සඳහන් කරන්න.
A. මේ උපාධි 2ම තොරතුරු තාක්ෂණය සහ කළමනාකරන යන විෂය පථ 2 ම ආවරණය කරන්නට වෙර දරන ඉතාම උසස් තත්වයේ පාඨමාලා. කළමනාකරණ දැනුම යනු තොරතුරු තාක්ෂණ උපාධියකට අනිවාර්යයෙන්ම අගය වැඩි කිරීමක් (Value Addition). මේ ගැන සවිස්තරාක්මකව මෙහි කතා කර තිබෙනවා. නැවතත් සැකෙවින් (සැකයෙන් නෙමෙයි) කිවුවොත් මෘදුකාංග කර්මාන්තයේදී අපි පද්ධති හදන්නෙ ව්‍යාපාරිකයින්ටනෙ. ඒක නිසා ව්‍යාපාරික ක්‍රියාවලි (Business Process / Business Logic) සහ ව්‍යාපාර සම්පත් කළමානාකරණය (Enterprise Resource Planning), ගිණුම් තැබීම උදා. Double Entry වැනි සංකල්ප ආදී දැනුම වැදගත් වනවා.

ලංකාවේ විශ්වවිද්‍යාලවල ප්‍රදානය කරන හැම උපාධියක් ගැනම එහි සඳහන් කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. විශේෂයෙන් ඔය සබරගමුව, ඌව වෙල්ලස්ස වගේ අළුත් විශ්වවිද්‍යාලවල (පමණක් නොවේ අනෙක් ඒවගෙත්) අවුරුදු පතා අළුත් අළුත් හොඳ පාඨමාලා හඳුන්වා දෙනව. හොඳම දේ ඒ අවුරුද්දෙ UGC Hand-Book එක බාල (Download කරල) ඒ ගැන දැනුවත් වෙන එක. 


අළුත්ම පාඨමාලා ගැනනම් ඉතින් ප්‍රොෆෙසර්ටත් පේන කියන්ඩ බෑනෙ.


Q. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසැල (University of Colombo - School of Computing) මගින් පිරිනමන IS (Information Systems) උපාධිය ගැන දැනුවත් කල හැකිද?
A. මේ ලින්ක් එකේ තියෙන්නේ තොරතුරු පද්ධති පිළිබඳ අන්තර්ජාතික පිළිගත් සම්මුතිය. මොරටුව, කොළඹ වැනි විශ්වවිද්‍යාල පාඨමාලා සම්පාදනය කිරීමේදී අනුගමනය කරන්නේ මේ පාඨමාලා ආකෘති. ඒක නිසා මෙහි අන්තර්ගතවන මූලික විෂය පථයන් ආවරණය කරන්න තමයි විශේෂ අවධානය යොමුවෙන්නෙ. ඒ එක් එක් විශෂයන් ගැන මම වෙන වෙනම කතාකරන්න බලාපොරොත්තුවක් නෑ.

Q. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පවත්වන Computing and Information System කියන degree එක ගැන දැනුවත් කල හැකිද?
A. මේ උපාධි පාඨමාලාව (Special Degree in Computing and Information Systems) සහ Special Degree in Computer Science and Technology යන උපාධි 2ම පිරිනමන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයෙ ව්‍යවහාරික විද්‍යා (Applied Science) පීඨය මගින්. මෙහි පරිගණක විද්‍යා සහ තොරතුරු පද්ධති යන ක්ෂේත්‍ර දෙකේම ලක්ෂණ යම් පමණින් මුසු කොට තිබෙනවා. පෞද්ගලික මෘදුකාංග ක්ෂේත්‍රය අභිමුඛ කරගත් (Industry Oriented) පාඨමාලා ලෙස හඳුන්වන්න පුළුවන්.

රැකියා ඉල්ලුම ගැන කතා කළොත්, ඔය මොන විශ්වවිද්‍යාලයෙන් පිරිනමන තොරතුරු තාක්ෂණ/පරිගණක විද්‍යා උපාධියටත් අඩංගු වන මූලික අනිවාර්ය විශයයන් ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා ඉන් බිහිවන උපාධිධාරීන්ගේ දැනුම පිළිබඳ සැකයක් තියාගන්න එපා. ලංකාවේ පෞද්ගලික මෘදුකාංග සමාගම් 400+ කටත් වඩා තියෙන නිසා මොන උපාධිය කළත් ප්‍රශ්නයක් නම් ඇතිවෙන්න විදියක් නැහැ. ටිකක් පහු වෙලා හරි රැකියාවක් ලැබේවි. ඕනෑම රජයේ සරසවියක ඔය කියන උපාධියක් තිබේනම් පෞද්ගලික උපාධිධාරීන් එක්ක ඇත්තටම තරඟයක් නෑ. මොකද සමාගම්වල අය දන්නවා රජයේ සරසවිවල ඉගෙන ගන්නේ උසස්පෙළ ඉහළින් සමත්, ඒ කියන්නේ ජීවිතයේ කැපකිරීම් කරන්න පුළුවන්, යමක් දරාගන්න පුළුවන් මිනිස්සු කියලා. ඒ නිසා කිසිම ආකාරයක හීනමානයක් තියාගන්න එපා ඒ ගැන.

Q.ලංකාවේ මෘදුකාංක ඉන්ජිනේරුවරයෙකුගේ වැටුප කොපමණ වේද...?
A. පුහුණු වන කාලයේ රු. 15,000 ක් පමණ අගයක සිට 30,000 පමණ විය හැකියි. සේවය ස්ථිර වූ පසු 35,000 ඉක්මවනවා. මා මේ කියන්නේ තත්ත්ව පරීක්ෂක (QA) නොවෙයි.මෘදුකාංග සංවර්ධක (Dev.). නමුත් වැටුප කෙරෙහි බොහෝ සාධක බලපානවා. දේශීය හිමිකාරිත්වය දරන (Locally Owned) සමාගම්වලනම් වැටුප මීටත් වඩා අඩුවිය හැකියි. බහුජාතික (අන්තර්ජාතික) සමාගම්වල නම් ආරම්භවන්නේ (පරිවාස කාලය හෝ පුහුණුවෙන් පසු) රු. 55,000 - 60,000 පමණ ඉහළ වැටුපකිනුයි. නමුත් ඔබේ දක්ෂතාවයන් නිරන්තරයෙන්ම අධීක්ෂණය කරනු ලබනවා. පුහුණුවෙන් පසු හා ඊට පසුත් වැටුප් වැඩිකිරීමේදී අනිවාර්යෙන්ම ඔබේ දක්ෂතා බලපානවා. (පුහුණුව හෝ පරිවාස කාලය අවම 6 මාසික, උපරිම වසර 1යි.)

Q. යම් හෙයකින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළු විය නොහැකි වුවහොත් Engineering, Automation, Robotics වැනි විෂයයන් පිළිබඳ හැදෑරිය හැකි ක්‍රමයක් තිබෙනවාද..?
A. ඔව්. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මගින් පිරිනමන විද්‍යාව හා තාක්ෂණය (Science & Technology) සිවු අවුරුදු පාඨමාලාව Mechatronics Special (විශේෂවේදී) ලෙස හැදෑරිය හැකියි. මෙම පාඨමාලාව Electrical Engineering, Control Theory, Power Electronics, Robotics යන සියළුම විශෂයන් ආවරණය කරනවා.

Q. ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යා විෂයන් හදාරා පශ්චාත් උපාධිය සඳහා තොරතුරු තාක්ෂණය හැදෑරිය හැකිද..?
A. ඔව්. භෞතික විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාව යන විශයයන් තුන විශේෂයෙන් ප්‍රථම හා පශ්චාත් උපාධිවලදී ඉන් එකකින් වෙනත් ඕනෑම එකකට සිය උනන්දුව අනුව වෙනස් කල හැකියි. භෞතික විද්‍යාව, ගණිතය පමණක් නොවේ, අවශ්‍යනම් රසායන විද්‍යාව, ජීව විද්‍යාව පවා හදාරා පසුව තොරතුරු තාක්ෂණයට මාරු විය හැකියි.

Q. ප්‍රථම උපාධිය සඳහා භෞතික විද්‍යා විෂයන් හදාරා පශ්චාත් උපාධිය සඳහා ඉංජිනේරු විද්‍යාව හැදෑරිය හැකිද?
A. ඔව්. නමුත් ඒ සඳහා අදාල විෂයයක් ප්‍රථම උපාධියට හදාරා තිබිය යුතුයි. උදාහරණයක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ Industrial Automation M.Sc.සඳහා Electronics හෝ Mechatronics යන විෂයයන් හදාරා තිබීම වැදගත් සහ අනිවාර්ය වනවා. මීට අමතරව ගණිතය පිළිබඳ ඉහළ මට්ටමේ දැනුමද බෙහෙවින්ම අවශ්‍ය වෙනවා. මේ කරුණු කෘතිම බුද්ධිය (Artificial Intelligence) වැනි සංකීර්ණ විෂයයක් වැඩිදුර හැදෑරීමටද වලංගු වනවා. (මොරටුව විශ්වවිද්‍යාලය මගින් එය හැදෑරිය හැකියි.)

Q. ලංකාවේ සරසවියක ජීව වෛද්‍ය ඉන්ජිනේරු විද්‍යාව (BioMedical Engineering) හැදෑරිය හැකිද...?
A. ප්‍රථම උපාධිය ලෙස (දැනට) නොහැකියි. නමුත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඒ සඳහා අදහසක් තිබෙනවා. ජෛව තොරතුරු තාක්ෂණය (BioInformatics)  නම් බොහෝ පරිගණක විද්‍යා උපාධිවල වෛකල්පිත විෂයක් ලෙසට හැදෑරිය හැකියි. ජෛවතාක්ෂණය (Biotechnology) ද අවශ්‍යනම් (ජීවවිද්‍යා දෙපාර්තුමේන්තුවකින්) හැදෑරිය හැකියි.
ඒ පිළිබඳව ආචාර්ය උපාධියක්නම් හැදෑරිය හැකියි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් හා සන්නිවේදන ඉංජිනේරු (Electronic & Telecommunication Engineering) දෙපාර්තමේන්තුව මගින්. මෑතකදී එය එම විශය ක්ෂේත්‍රයේ පර්යේෂණාගාරයක්ද සතු කර ගත්තා පෞද්ගලික අංශයේ අනුග්‍රහය ඇතුව.

Q. පශ්චාත් උපාධියක් සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද...?
A. ප්‍රථම උපාධිය අවසන්කළ හැටියේම නම් ගෞරව උපාධියක් (සිවු අවුරුදු විශේෂ එකක් නම් වඩාත් හොඳයි.), ප්‍රථම පන්ති (1st Class Honors)  හෝ දෙවන ඉහළ (2nd Upper Honors) පන්ති සාමාර්ථයක් සහිතව. දෙවන පහළ (2nd Lower) හෝ සාමාන්‍ය (General) නම් අවම වශයෙන් වසරක වෘත්තීය පළපුරුද්ද අවශ්‍යයි. මීට අමතරව විශ්වවිද්‍යාලය මගින් පවත්වන බුද්ධි පරීක්ෂණය (IQ Test) හෝ සම්මුඛ පරීක්ෂණය හෝ මේ දෙකම සමත්විය යුතුයි.

Q. ලංකාවේදී ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ හැකිද? ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද.? ගතවන කාලය කොපමණද..?
A. ඔව්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්වාත් උපාධි විද්‍යා ආයතනය (PGIS-Post Graduate Institute of Science) සහ
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආචාර්ය උපාධිය සඳහා පහසුකම් සපයනවා.
සුදුසුකම් ලෙස බොහෝවිට විද්‍යාපති (M.Sc.-Master of Science OR M.Phill.- Master of Philosophy)  උපාධියක් අවශ්‍යයි. ඉතාම සුවිශේෂී අවස්ථාවල (Extra-Ordinary) පමණක්, අසාමාන්‍ය දක්ෂතා පෙන්නුම් කර ඇති විට (Exceptional cases) ප්‍රථම උපාධියෙන්ම සුදුසුකම් ලබනවා.
මොරටුව විශ්වවිද්‍යාලයේ අර්ධකාලීන (Part-Time) ව හදාරන්නට අවම වශයෙන් වසර 5ක් ගතවනවා. පූර්ණ කාලීනව (Full-Time) නම් අවමය වසර 3 යි.

Q. ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලේ හොඳ පාඨමාලා තිබුණත් එහි ප්‍රමාණවත් ගුරුවරු නෑ කියන්නේ ඇත්තද...? එයට ඇතුළත් වුවහොත් අනෙකුත් සරසවි සිසුන් අතර 'අල ' (කොන්) වීමකට සිදුවේද...?
A. ගුරුවරු නැති ප්‍රශ්නය හැම සරසවියටම පොදු එකක්. රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයත් ඔය අර්බුධයෙන් හොඳටම පෙළෙන බැටකන ආයතනයක්. දුෂ්කර පළාත්වල සේවයට යන්න දක්ෂ ගුරුවරු කැමති නැහැ. අමතර ආදායම් අඩුවීම, වැඩිදුර අධ්‍යාපනය අසීරු වීම, දරුවන්ගේ ජීවන හා අධ්‍යාපන තත්ත්වය පහත වැටීම ඊට මූලික හේතුයි. ඒ ගැන ඔය පළාත්වල උඩ පැනගෙන ගිහින් සරසවි පිහිටුවන දේශපාලකයින්ට ඒ ගැන ගානක් නැහැ. මම දන්න විදියට ඌවෙ ඔය කියන තත්ත්වය තදින්ම තියෙනවා. 
දැනට ආචාර්ය උපාධිය සඳහා එහේ සෑහෙන දක්ෂ ගුරුවරු පිරිසක් විදේශ ගතවෙලා. එයාල ආවම ඔය ප්‍රශ්න විසඳෙයි ඉක්මනට.
ඔය කොන් වෙන කතාව ඇවිත් තියෙන්නෙ එහේ ශිෂ්‍ය සංගම් හදන්න දෙන්නෙ නැති නිසා. ඒකට ඉතින් ළමයි පළි නෑනේ. (ඇඩ්මින් එක කියන විදියට නටන පිරිසකුත් ඉන්නවා නැත්තෙ නෑ.) 
ඉගෙනගන්න යන අය ඒ ගැන වදවෙන්නෙ නැතුව යන වැඩේ කරගත්ත නම් හරි.

Q. ලංකාවේ සරසවිවල ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය ගැන ඔබගේ අදහස කුමක්ද...? ළමයි ඒවට යන එක ගැන ඔබ එකඟද..?
A. ඕකට සෘජු පිළිතුරක් දෙන්න බෑ. එහෙම කරන්න ගියොත් වෙන්නෙ ඒක මගෙ පුද්ගලික මතය වෙන එක.
මෙහෙමයි. ඕකෙ දෙපැත්තක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ හරි සමාජයේ හරි රටේ හරි අසාධාරණය දකින්න, ඊට එරෙහි වෙන්න සරසවි ශිෂ්‍යයින්ට අයිතියක් තියෙනවා. ඔවුන් මේ රටේ වගකීමක් දරණ පුරවැසියොනෙ.
ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ වෙනුර එදිරිසිංහලා, ත්‍රීමාලා ජීවිත පරිත්‍යාග නොකරන්නට අද නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නෑ. ඔවුන් සැබෑ වීරයෝ. අපි ඔවුන්ට ණය ගැතියි. 
ඒත් පටු දේශපාලන අරමුණු වලට ඒව ගාවගන්න එක වැරදියි. දැන් ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරයෙ වැඩි බලතල තියෙන්වායැයි කියන සංවිධානයෙ පිටුපස තියෙන දේශපාලනයට මම පෞද්ගලිකව කැමති නෑ. (ටිකක් වැඩි වුනාද මන්ද. ඕකනෙ මම මුළදිම කිව්වෙ.)
නමුත් ඔවුන් පවා හොඳ වැඩ නොකරනවා නොවෙයි. ඒ වගේ වෙලාවට සහය දක්වලා අනෙත් වෙලාවට පාඩුවෙ හිටියනම් හරි. වැඩිය බදාගෙන ඕව කරන්න යන්න ඕන නෑ. අපි කැම්පස් ආවෙ දේශපාලය කරන්න නෙමෙයිනෙ. ඉගෙන ගන්න. ඉස්සෙල්ල ඒක කරගෙන ඉන්න ඕන. 

ඔබේ අනන්‍යතාව හෙළි කළ හැකිද...?
හැකියි. නමුත් එහි ඇති වැදගත්කම...? මා පෞද්ගලිකව හඳුනාගැනීමෙන් මීට වඩා සෙතක් සැලසේයැයි ඔබට සිතේනම් (මට නම් එහෙම හිතෙන්නෙ නෑ.) පහත විද්‍යුත් ලිපිනයෙන් අදාල විස්තර ලබාගත හැකියි.

prof.edu.lk@gmail.com

12 comments:

  1. mata tibuna prashna keepayakatama uttra labuna.
    bohoma isthuthi

    ReplyDelete
  2. ඕනෑම රජයේ සරසවියක ඔය කියන උපාධියක් තිබේනම් පෞද්ගලික උපාධිධාරීන් එක්ක ඇත්තටම තරඟයක් නෑ. මොකද සමාගම්වල අය දන්නවා රජයේ සරසවිවල ඉගෙන ගන්නේ උසස්පෙළ ඉහළින් සමත්, ඒ කියන්නේ ජීවිතයේ කැපකිරීම් කරන්න පුළුවන්, යමක් දරාගන්න පුළුවන් මිනිස්සු කියලා. ඒ නිසා කිසිම ආකාරයක හීනමානයක් තියාගන්න එපා ඒ ගැන.

    me tika kiyewwahama loku sathutak dannuna goda denek dan gov university ekakin IT degree ekak karanwa kiwwahama hinawa wenawa api eliyata enakota private degree karana aya job karala loku than waltath gihilla iwarayi kiyala sirta me gana danuwath kalata pin

    @shiwantha sandamal

    ReplyDelete
    Replies
    1. (y) හිනා වෙන අයට පාඩමක් උගන්වන්න ඕන අපි මචං....

      Delete
    2. ubala campus ekata giyapu hinda ochcra adambaren katha karanwa.a unata podi kalen idan IT waltma nehila Z eke dashamayak madi wela manasikwa watena ewun yanda oni tecda?????samahara wita un oya campus,prvt digree gahana ewun okkotma wadiya mole thiyena ewun.dashamen deken IT wala denuma manina lankawe paalakayoi,campus wala inna panditha aachryawarui hithan inne un IT kappiththo kiyala.hebei oya govrmnt campus walata gihin pothata IT pass wena ewuntai,pvt ewata gihin salli goni wisikarana ewuntai hithaganda beri widihata dashame madi wechcha ewun negala ei dwasaka.

      Delete
  3. හැමෝටම තියෙන ප්‍රශ්න වලට හොඳට ගැලපෙන උත්තර දීලා තියනවා! බොහොම ස්තුතියි!

    ReplyDelete
  4. රොබෝ තාක්ෂණය පිළිබඳ සිංහලෙන් උගන්වන්න අපේ සහෝදරයෙක් පුංචි වෑයමක්. නිකමට ගිහින් බලන්න. ඉගෙන්න දෙයක් අනිවාර්යෙන් තියේවි.
    http://lankarobotic.blogspot.com/

    ReplyDelete
  5. UCSC wala CS degree eka karala Artificial intelligence hadaranna puluwanda?

    ReplyDelete
  6. ane sir mama 2014A/L ict karanawa.ane puuwannam kiyanna A/L ict walata A ekak ganne khomada kiyala?

    ReplyDelete
  7. ane sir mama 2014A/L ict karanawa.ane puuwannam kiyanna A/L ict walata A ekak ganne khomada kiyala?

    ReplyDelete
  8. බහුතර පිරිසකගෙ මතයක් තියනව (බෙහෙවින්ම පෞද්ගලික උසස් අද්‍යාපන ආයතනවල ආචාර්යවරුන් අතර ) උසස්පෙළ දෙවන තෙවන වරට පෙනීසිටිනවාට වැඩිය පෞද්ගලික උසස් අද්‍යාපන ආයතනයක් සමග සම්බන්ඳ වීම වඩාත් පලදායී දෙයක් ලෙස.(ඒ අය එහෙම කියන එක සාධාරණයි නෙ ... :) )මම තෙවන වර උසස්පෙළ සමත්ව INDUSTRIAL STATICS & MATHEMATICAL FINANCE - colombo - සඳහා තේරී ඇත.(පරිඝණක විද්‍යාව බෝට්ටුවක් පේන මානයේ ..ශුවර් නෑ :( ...).
    1)මගේ ඉදිරි ගමන සඳහා මගේ "වයස " ප්‍රශ්නයක් විය හැකිද ? (දැනට 22යි [2014/15 අද්‍යන වර්ශයට සෙට් වෙන්නෙ ])
    2) ශ්‍රී ලංකාවේ පෞද්ගලික උසස් අද්‍යාපන වල ඉහත විශයන්ට අදාල උපාධි( NIBM , SLIT ) වලට ඇති පිළිගැනීම කෙබඳු ද ? (සාපේක්ෂව)
    3) ඉහත විශයන්ට අදාලව , විශ්වවිද්‍යාලයයන්හි ඉගෙනුම ලබමින් සපුරාගැනීමට සුදුසු සුදුසුකම් / professional qualifications මොනවාද ?
    ඔබතුමාගේ මේ සේවාව ඉදිරියටත් සාර්තකව කරගෙන යාමට ශක්තිය ලැබේවා !!! - ස්තූතියි -

    ReplyDelete
  9. Sir,Could y plz tell me, about the job market available for the agriculture degree at the university of sabaragamuwa..thnk y very much sir!!🎓

    ReplyDelete
  10. අර මැද්දෙන් දම් පාටින් ලියල තිබ්බ එක නම් මරු ඈ. එත් ඉතින් අපි එක දවසක් කැම්පස් ගිහින් තාම ගෙදර.............!!!

    ReplyDelete